Monday, April 29, 2024

General line - 0115112241

රුසියානු ජනපති සමග මිටර් 30ක් දුරින් සිට හෝ සාකච්ජාවකට සුදානම් - යුක්රේන ජනපති කියයි




සිවිල් ජීවිත රැසක් අහිමි වී ගොස් ඇති මේ මොහොතේදී හෝ සිය හමුදාව රැගෙන යුක්රේන භූමියෙන් පිටවී යන ලෙස යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

එසේ යාමට නොහැකි නම් තමන් සමග මුහුණට මුහුණ සාකච්ඡාවකට එක්වන ලෙසයි යුක්රේන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාට යෝජනා කර සිටින්නේ. එවන් සාකච්ඡාවක් සඳහා රුසියානු ජනාධිපතිවරයා සමග එකම මේසයක අසුන් ගැනීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බව ද යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි පැවසුවා.

අවශ්‍ය නම් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් මෙන් තමන් ද මීටර් 30 ක පමණ දුරින් හිඳ හෝ සාකච්ඡාවකට එක්වීමට සූදානම් බවයි යුක්රේන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති පුටින් ට දැනුම් දී ඇත්තේ. එහෙත් එලෙස දුරින් සිටීම අනවශ්‍ය බවත් තමන් රුසියාවේ අසල්වැසියා බවත් රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත දන්වා තිබෙනවා. 

යුක්රේනය යනු කිසිවෙකුට තර්ජනය කරන ත්‍රස්තවාදී කොට්ඨාශයක් නොවන බවත් යුක්රේනය කිසිදා අනුන්ගේ නිජ භූමියක් බලහත්කාරයෙන් අල්ලා නොගන්නා බවත් යුක්රේන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් රුසියාවේ ආරක්ෂක කවුන්සිලය අමතමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ අවධාරණය කර ඇත්තේ යුක්රේනය තුළ සිදුකරන හමුදා මෙහෙයුම් පෙර සැලසුම් කළ පරිදි ඉදිරියට ගෙන යන බවයි. එම සාකච්ඡාව රුසියානු රූපවාහිනී මාධ්‍ය හරහා ද විකාශය කෙරුණු බව විදෙස් මාධ්‍ය පැවසුවා. 

යුක්රේනයේ සිටින නාසිවරුන් මුලිනුඋපුටා දමන බවත් රුසියානුවන් සහ යුක්රේන වැසියන් එකම ජන කොට්ඨාශයක් සේ සලකන බවත් රුසියානු ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් එහිදී යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කිව හඳුන්වනු ලබන්නේ නාසි වාදියෙකු ලෙසයි. 

කෙසේවෙතත් යුක්රේනය තුළ සිදුකරන හමුදා මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කළේ යුක්රේනය හා රුසියාව අතර සාම සාකච්ඡා ආරම්භ කර ඇති පසුබිමක වීම විශේෂත්වයක්. ඊයේ පැවැති එහි දෙවන වටයේ සාකච්ඡා වලදී දෙපාර්ශවය විසින් එකග වී ඇත්තේ යුක්රේනයෙන් ඉවත් වන ජනතාවට එලෙස පිටවීම සඳහා මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කිරීමටයි. 

කෙසේවෙතත් රුසියාව විසින් යුක්රේනය තුළ හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් පසුව ගෙවීයන 09 වන දිනය අදයි. ඊයේ රාත්‍රිය පුරා ද රුසියාවේ කිව් අගනුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයකටම රුසියානු හමුදාවෙන් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.