Thursday, May 16, 2024

General line - 0115112241

ගෑස් නැවකට මුදල් ගෙවයි - ගොඩබෑම අද සිට




මෙරට මුහුදු සීමාවට පැමිණ තිබූ ගෑස් තොග රැගත් නෞකාවක් සඳහා අදාළ මුදල් ගෙවීම ඊයේ දිනයේදී සිදුකර තිබෙනවා. ඒ අනුව අද සිට ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීමේ කටයුතු ආරම්භ වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ගෑස් තොග රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ දින 03 ක් නැංගුරම්ලා තිබුණා. ඊට හේතුව වූයේ එම ගෑස් තොගය මුදා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැති වීමයි. ඒ අනුව ප්‍රමාද වූ දින 03 සඳහා එක් දිනකට අමෙරිකානු ඩොලර් 15,000 බැඟින් ඩොලර් 45,000 ක් ප්‍රමාද ගාස්තු වශයෙන් අදාළ නෞකාවට ගෙවීමට සිදුවන බවයි වාර්තා වුණේ. 

ගෑස් නොමැති වීමෙන් පසුගිය දින කිහිපය පුරා ගෑස් අලෙවි නියෝජිත ආයතන ආසන්නයේ දිගු පෝළිම් ද දක්නට ලැබුණා.

මේ අතර ගෑස් තොග සගවාගෙන සිටින ස්ථාන පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම්දෙන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එහි පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශයේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පැවසුවේ පසුගිය දිනවලදී ගෑස් සගවාගෙන සිටි එවැනි ස්ථාන කිහිපයක් සිය නිලධාරීන් විසින් වැටලූ බවයි.