Thursday, May 16, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදය දුටුවේ නම් බදු ආදායම අහිමි කර ගත්තේ ඇයි ? මන්ත්‍රී හර්ෂ ද සිල්වා අසයි




ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බව කලින් දුටුවේ නම් බදු අඩු කර රුපියල් බිලියන 600 ක පමණ බදු ආදායමක් අහිමි කරගැනීමට ආණ්ඩුව කටයුතු කළේ ඇයිදැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්ණ කරනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා ඊයේ සිදුකළ කතාවට ප්‍රතිචාර දක්වමින්. 

මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ ආර්ථික අර්බුදයක ඇතිවිය හැකි බව කල් ඇතිව දුටුවේ නම් රුපියල කෘතිම ලෙස පාළනය කිරීමට කටයුතු කළේ ඇයිද යන්නයි. එමඟින් රුපියල් බිලියන 04 ක පමණ ආදායමක් රටට අහිමවූ බවත්, රුපියල ආරක්ෂා කිරීම සඳහා ඩොලර් බිලියන 1 යි දශම 5 ක පමණ මුදලක් රටට අහිමිවූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. 

මේ අතර රට මුහුණපා ඇති ආර්ථික අර්බුදය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නිර්මාණය වූවක් බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසනවා. ඔහු පෙන්වා දුන්නේ පසුගිය වසර දෙකක පමණ කාල සීමාව තුළ ආසියානු කලාපයේ විදේශ සංචිත කඩා වැටුණු එකම රට ශ්‍රී ලංකාව වන බවයි. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


කලාපීය රටවල් සමඟ සැසදීමේදී පසුගිය වසර දෙකක කාලය තුළ මෙරටින් විදේශගත වන ශ්‍රමිකයින් යොමුකරන ප්‍රේශණවලද අඩුවක් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.