Monday, April 29, 2024

General line - 0115112241

ක්ෂණිකව ක්‍රියාත්මක වුනා නම් ප්‍රහාර ගණනාවක් වළක්වා ගන්න තිබ්බා - පාස්කු නඩුවේදී හිටපු ජනපති සහ අගමැතිට චෝදනා




පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට පැහැදිලි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරක්ෂක නිලධාරීන් මහජනතාව විසින් රජය මත තැබූ විශ්වාසය උල්ලංඝනය කර ඇතැයි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා කළා. 

ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අද හතරවන දිනටත් විභාගයට ගැණුනු අවස්ථාවේ දී, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු දක්වමින්. 

එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පැවසුවේ පාස්කු ඉරුදින පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පෙරවරු 8.45ට වාර්තා වූ බව බවයි. එහෙත් ඇඳිරි නීතිය පැනවීමේ නිවේදනය නිකුත් වූයේ එදින පස්වරු 03.30ට බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

පළමු ප්‍රහාරය වාර්තා වූ විගසම එවක ජනාධිපති, අග්‍රාමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ක්ෂණික ආරක්ෂක පියවර ගෙන තිබුණේ නම් ඉන් පසුව වාර්තා වූ ප්‍රහාර ගණනාවක්ම වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි ජනාධිපති නීතිඥවරයා එහිදී අවධාරණය කළේ. 

ප්‍රහාරය වලක්වා ගැනිමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, යන අය මහජනතාව විසින් රජය මත තැබූ විශ්වාසය බිඳ හෙළීමට කටයුතු කර ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

ඒ තුළින් ඔවුන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයෙන් ඉල්ලා සිටියේ. මෙම පෙත්සම වැඩිදුර විභාගය මේ මස 29 වනදා තෙක් කල් තැබුණා.