Sunday, April 28, 2024

General line - 0115112241

යුක්රේනයේ මරිපෝල් නගරයත් රුසියාවට නතු වන ලකුණු




යුක්රේනයේ මරිපෝල් නගරය අත්පත් කර ගැනීම සඳහා රුසියානු හමුදාව සහ යුක්රේන හමුදාව අතර තවදුරටත් දරුණු ගැටුම් ක්‍රියාත්මකයි. ගැටුම්වලට මැදිවී තවත් දහස් ගණනක සිවිල් වැසියන් පිරිසක් මානුෂීය ගැටළු රැසක් මධ්‍යයේ නගරය තුළ සිරවී සිටිනවා. 

කෙසේවෙතත් රුසියානු හමුදාව එල්ල කළ ප්‍රහාර හමුවේ මරිපෝල් නගරයේ පිහිටි ගොඩනැගිලිවලින් සියයට 80 ක් පමණ අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එලෙස හානියට පත්ව ඇති ගොඩනැගිලිවල සුන්බුන් අතර සිවිල් වැසියන් සිරවී සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඇතැම් විදෙස් වාර්තා පවසන්නේ රුසියාව වෙනුවෙන් යුක්රේනයට ඇතුළුවී සිටින චෙච්නියානු විශේෂ බලකායට අයත් සොල්දාදුවන් නරගයේ ගෙයින් ගෙට ගොස් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි. 

කෙසේවෙතත් රුසියානු ප්‍රහාරවලට බියෙන් මරිපෝල් නගරය තුළ සිරවී සිටින පුද්ගලයින් තවදුරටත් පළායමින් සිටින බවත් ඒ අතරතුර ඇතැම් පුද්ගලයින් මහමගදිම මියයන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මරිපෝල් නගරයේ සිරවී සිටින වැසියන් ආහාර, ජලය මෙන්ම ඖෂධ හිගයෙන් ද දැඩිව පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. ඒ අනුව යුක්රේනයේ මරිපෝල් නගරය ද නොබෝ දිනකින් රුසියානු පාලනයට නතුවනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් මත පළ කර තිබෙනවා.