Thursday, May 16, 2024

General line - 0115112241

රුසියාවට යුධෝපකරණ දෙන්න එපා - අමෙරිකානු ජනපති චීන නායකයාට කියයි




අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ දුරකථන සංවාදයක් ඊයේ පැවැත්වුණා. විදෙස් වාර්තා පැවසුවේ ඉකුත් නොවැම්බර් මාසයෙන් පසුව දෙරටේ නායකයින් දෙපළ දුරකථන සංවාදයක නියැළුනු පළමු අවස්ථාව එය බවයි.

පැයයි විනාඩි 50 ක් පුරා පැවැති එම දුරකථන සංවාදයේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නායකයින් දෙපළ සාකච්ඡා කර ඇති අතර එහිදී වැඩි අවධානයක් යොමුව තිබුණේ යුක්රේන අර්බුදය පිළිබඳවයි.

එහිදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, චින ජනාධිපති ෂී ජින්පින් වෙත පවසා ඇත්තේ යුක්රේන අර්බුදයේදී රුසියාවට යුදමය වශයෙන් ආධාර සැපයීමට චීනය කිසිලෙසකින් හෝ උත්සහ නොකළ යුතු බවයි. එසේ වුවහොත් චීනයට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

කෙසේවෙතත් යුක්රේනය ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර නතර කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පවසන ලෙසට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙම සාකච්ඡාවේදී චීන ජනාධිපති සී ජින්පින්ගෙන් කිසිඳු ඉල්ලීමක් කර නොමැති බවයි වාර්තා වන්නේ.  

මේ අතර චීන ජනාධිපති ෂී ජින්පින් එම සාකච්ඡාවේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට පවසා ඇත්තේ යුද්ධය කිසිවෙකුගේ අවශ්‍යතාවක් නොවන බවයි. 

රාජ්‍යයන් අතර පවතින සබඳතා සතුරුකම් දක්වා වර්ධනය නොවියු යුතු බවත් චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබුණා. එමෙන්ම ජාත්‍යන්තර වගකීම්වලදී අමෙරිකාව හා චීනය සමව උරදී කටයුතු කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා සිය දුරකථන සංවාදය අතරතුර අමෙරිකානු ජනාධිපතිවරයා වෙත දන්වා ඇත්තේ. 

කෙසේවෙතත් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී චීන ජනාධිපති ෂී ජින්පින්, කිසිඳු අවස්ථාවක රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විවේචනය කළේ ද යන්න අනාවරණ වී නොමැති බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කළේ.