Thursday, May 16, 2024

General line - 0115112241

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ යෝජනාවක් කථානායකවරයාට




21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත හෙට දිනයේ කථානායකවරයා වෙත භාරදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. එම මන්ත්‍රීවරුන් 40 දෙනා නියෝජනය කරන පක්‍ෂ නායකයින් අතර ඊයේ රාත්‍රීයේ පැවති සාකච්ඡාවකදීයි ඒ බව තීරණය කර ඇත්තේ. 

20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර 19 වන ව්‍යවස්ථාව සංශෝධන සහිතව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත ලෙස මෙලෙස කතානායකවරයා වෙත භාර දෙන බවයි ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රකාශකයෙක් නෙත් නිවුස් වෙත පැවසුවේ. එම කෙටුම්පත වර්තමාන අමාත්‍ය මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි යෝජනා වී ඇත්තේ. එසේ සිදු කිරීමට නොහැකි වුවහොත් සිය ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම හරහා එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද එම ප්‍රකාශකවරයා සදහන් කළා.

මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ නව සංශෝධනය සදහා යෝජනා ඇතුළත් කෙටුම්පත සමගි ජනබලවේගය විසින් කථානායකවරයා වෙත භාරදෙනු ලැබුවා. 

පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර එම කෙටුම්පත කථානායකරයා වෙත භාරදුන් බවයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

මේ අතර පක්‍ෂ නායක රැස්වීමක් අද පස්වරු එකයි 30 ට පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.