Thursday, May 16, 2024

General line - 0115112241

කිරිපිටි මිල ලබන සතියේ සිට වැඩිවන ලකුණු




ඉදිරි සතියේ සිට අනිවාර්්‍යයෙන්ම කිරි පිටි මිල වැඩි කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. ඒ, ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන්. රට තුළ පැවති සියලු ආනයනික කිරිපිටි තොග මේ වන විට අවසන් වී තිබෙනවා. සති දෙකකින් නව තොග ආනයනය නොකළ බවයි කිරිපිටි ආනයනකරුවන් පැවසුවේ. 

එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ ලබන සතියේ අග භාගයේදී කිරිපිටි තොගයක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි. එම තොගය පැමිණි වහාම ඊට අදාළ වියදම් ගණනය කර ඩොලරයේ අගය ද සලකා කිරි පිටි මිල වැඩි කරන බව කිරිපිටි ආනයනකරුවන් නෙත් නිවුස් වෙත තහවුරු කළා.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ආනයනයට ද ඩොලර් අර්බුදය හේතුවෙන් මේ වන විට බලපෑම් එල්ලවී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් පැවසුවේ ඉන්දියානු ණය පහසුකම යටතේ ලබාගත හැකි භාණ්ඩවලට මේ වන විට ප්‍රමුඛතාව ලබාදී ඇති බවයි.සහල්, තිරිඟු පිටි, සීනි, අල, ලූණු, වියළි මිරිස් ඇතුලු ආහාර වර්ග ඒ අතරට අයත්. 

ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බොහෝ රටවල් භාණ්ඩ ලබාදීමට පෙර මුදල් ඉල්ලා සිටින බවත්, ඉන්දිය ණය පහසුකමේදී එවැනි තත්ත්වයක් නොමැති බවත් ඔවුන් පවසනවා. කෙසේවෙතත් ඉන්දිය ණය පහසුකම යටතේ භාණ්ඩ ලබා ගැනීමේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් ගැටලු පවතින බවත්, ඒවා කඩිනමින් විසදාගතහොත් භාණ්ඩ හිඟයක් මතු නොවනු ඇති බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් නෙත් නිවුස් වෙත පැවසුවා.

ඉන්දියානු ණය පහසුකම පිළිබඳ අදහස් දැක්වූ මුදල් අමාත්‍ය අලි සබ්රි පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ මේ වන විටත් සාකච්ඡා කර ඇති බවයි.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය මෙරටට ලැබෙන තෙක් රට ඉදිරියට ගෙන යාම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇති බවයි මුදල් අමාත්‍යවරයා පවසන්නේ.