Friday, May 10, 2024

General line - 0115112241

රඹුක්කන දී දුටු මනුසත්කම (VIDEO)




රටේ පවතින අර්බුදකාරී වාතාවරණයත් සමග සමාජය තුළ යළිත් එකමුතුකම සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඒ මේ දිනවල ජාති ආගම් භේදයකින් තොරව සියලුදෙනා එකිනෙකාගේ යහපැවැත්ම වෙනුවෙන් එකමුතුවී කටයුතු කිරීම සුලභව දක්නට ලැබෙන නිසා. එවැනි අපූරු සිදුවීමක් ඉකුත් දා කඩුගන්නාව ප්‍රදේශයෙන් වාර්තා වුණා. 

ඉකුත් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවැති මහජන විරෝධතාව හා ඒ සමග ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ධාවන කටයුතුවලට බාධා එල්ල වුණා. පෙරවරු 07 යි 30ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්වූ එම දුම්රියට රඹුක්කන පැවැති විරෝධතාව නිසා කඩුගන්නාවෙන් ඔබ්බට ධාවනය කිරීමට අවස්ථාව හිමිවූයේ නැහැ. 

භික්ෂූන් වහන්සේ, වැඩිහිටි පිරිස්, කුඩා දරුවන් මෙන්ම සංචාරකයිනුත් මෙම දුම්රියේ සිටි මගීන් අතර වුණා. දුම්රිය අතරමග නැවතීම නිසා ආහාරපාන පහසුකම් නොමැතිව ඔවුන් දැඩිව පීඩාවට පත්ව සිටියා.

එහිදී ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ආදිය සකසා දුම්රිය මැදිරි තුළටම ගෙනවිත් සත්කාර සිදුකිරීමට කඩුගන්නාව ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින් පිරිසක් ඉදිරිපත්ව තිබෙනවා. 

දුම්රියේ සිටි මගීන් සියලුදෙනාට ප්‍රමාණවත් පරිදි ආහාරපාන ලබාදීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ. එහි විශේෂත්වය වන්නේ එම මුස්ලිම් ජාතිකයින් පිරිස මෙලෙස දුම්රිය මගීන්ට ආහාරපාන ආදියෙන් සංග්‍රහ කර තිබුණේ සිය රාමසාන් උපවාස කාලසීමාව ද නොතකමින්.  

කෙසේවෙතත් මධ්‍යම රාත්‍රී 12 ට පමණ දුම්රිය යළිත් කඩුගන්නාවේ සිට කොළඹ බලා ඒමට පිටත්වී තිබෙනවා. මුස්ලිම් වැසියන් පිරිස ආහාරපාන  ආදියෙන් සත්කාර කිරීම හේතුවෙන් රාත්‍රිය පසුවන තෙක් දුම්රිය මැදිරි තුළම රැඳී සිටීම පහසුවක් වූ බවයි එම මගීන් පවසා තිබුණේ. 

VIDEO