Sunday, May 5, 2024

General line - 0115112241

මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කරන්න - බදු වැඩි කරන්න - IMF ශ්‍රී ලංකාවට කියයි




සිය ණය අර්බුදය විසදා ගැනීමට ශ්‍රී ලංකාව, මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබෙනවා. එහි ආසියා පැසිපික් කලාපයේ වැඩ බලන අධ්‍යක්ෂ ඈන් මරී පවසා ඇත්තේ ශ්‍රී ලංකාව බදු ඉහළ නැංවීම සහ නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බවයි.

මෙම පියවර ගැනීම වැදගත් වනවා. බදු වැඩි කිරීමෙන් අත්‍යවශ්‍ය වියදම් සපුරා ගැනීමටත් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමෙන් උද්ධමනය පාලනය කර ගත හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිපික් කලාපයේ වැඩ බලන අධ්‍යක්ෂකවරිය පවසා තිබෙනවා. 

ශ්‍රී ලංකාව ඉකුත්දා විදේශ ණය වාරික ගෙවීම තාවකාලිකව අත් හිටුවීමට තීරණය කළා. ඉන් පසුවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කළේ. ශ්‍රී ලංකාව සමග පැවති තාක්ෂණික සාකච්ඡා ඵලදායී බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබෙනවා. 

කෙසේ වෙතත් චීනයෙන් ලබා ගැනීමට අපේක්ෂිත ඩොලර් බිලියන 2යි දශම 5 ක මුල්‍ය සහාය ලබාදීම පිළිබඳ සාකච්ඡා මන්දගාමී වීමට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡා බලපෑ බව චීන තානාපති චී චෙන්හොන්ග් ඊයේ පැවසුවා. 

මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. මේ, සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නාලක ගොඩහේවා. 

මේ අතර ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළා තිබෙනවා. ඒ අනුව සී සී තත්ත්වයේ සිට එස් ඩී තත්ත්වය හෙවත් තෝරාගත් පැහැර හැරීම දක්වා අඩු කර ඇතැයි සදහන්.