Wednesday, May 8, 2024

General line - 0115112241

සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපන ඇතුළු වෘත්තීය සමිති 2000 ක් අද හර්තාලයේ




ආණ්ඩුවට එරෙහි රට පුරා අද දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සහ වැඩවර්ජනයට වෘත්තිය සමිති දෙදහසකට අධික සංඛ්‍යාවක් එක්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ සෞඛ්‍ය, තැපැල්, ප්‍රවාහන, අධ්‍යාපන ඇතුලු ප්‍රධාන වෘත්තිය සමිති රැසක්ද වන බවයි.

මේ හේතුවෙන් පාසැල් කටයුතු ද අද දිනයේ සිදුනොවන බවයි ලංකා ගුරු සේවා සංගමය සඳහන් කළේ. එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ ගුරු විදුහල්පතිවරු අද දිනයේ පාසැල් වෙත නොපැමිණෙන බවයි.

අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ පටු දේශපාලන වුවමනාවක් මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් මෙම වැඩවර්ජනය සිදුකිරීමට නියමිතව සිටින බවයි. තමන් ඊට එක් නොවන බවත්, සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් ඔවුන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තයේ සහ සේද මාවත මගී නිෂ්කාශන කටයුතු ද අද දිනයේ අත්හිටුවන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ ලේකම් ජයසිංහ බණ්ඩාර.

අද දිනයේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොකරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. සිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්යමණ්ඩලය අද දිනයේ සේවයට වාර්තා නොකරන බවට දැනුම්දීම හේතුවෙන් එම තීරණය ගත් බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසුවේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ද නිවේදනය කළේ අද දිනයේ ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු මහජන සේවා ක්‍රියාත්මක නොකරන බවයි.