Monday, April 29, 2024

General line - 0115112241

පොලිස් CCTV අංශයේ නියෝජ්‍ය පොලිස්පතිට පහරදුන් පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ




පොලිස් සමීප රූප අවේශන කොට්ඨාසය හෙවත් සීසීටීවී ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති ටී පී ගම්ලත්ට පහරදුන් පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වනවා. ඉකුත් 09 වනදා රියදුරු සමග සිය රථයේ ගමන් කරමින් සිටියදී මරදාන ප්‍රදේශයේදී පිරිසක් වාහනය නවතා නියෝජ්‍ය පොලිස්පතිවරයාට පහර දී තිබෙනවා. ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර බස්නාහිර පළාත ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීමට අදාළව සැකකරුවන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැණුනා. අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් දෙදෙනා හෙට දිනයේ හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු අනෙක් සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සදහන් කළේ.