Saturday, April 27, 2024

General line - 0115112241

අමාත්‍යවරුන් සිව්දෙනෙකු අද දිවුරුම් දෙයි




නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් සිව්දෙනෙක් අද දිනයේ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන, විදේශ කටයුතු, මහජන ආරක්ෂක සහ සංචාරක මෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ සදහා බවයි වාර්තා වුණේ. 

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ද, විදේශ අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී එල් පීරිස්,  මහජන ආරක්ෂක සහ සංචාරක අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග ද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර ද එලෙස දිවුරුම් දීමට නියමිත බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ සභානායක ලෙසද ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද පත් කිරීමට නියමිතව ඇති අතර  මේ හේතුවෙන් ඔවුන් අමාත්‍ය ධුරයන්හි අද දිවුරුම් දෙන බවයි වාර්තා වන්නේ.

අනෙකුත් අමාත්‍යවරුන් හෙට දිනයේ දිවුරුම් දීමටද නියමිත බවද වාර්තා වනවා. කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කෙරෙනු ඇති. අමාත්‍ය ධූර සදහා පත් කෙරෙන මන්ත්‍රීවරුන් පිළිබද මේ වනවිට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. ඊට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් පවතින අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට ද අවධානය යොමුවී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද පෙරවරු 10 ට ආරම්භ වුණා. ඒ, කොළඹ ජනාධිපති මන්දිරයේදීයි. ඉකුත්දා ගාලුමුවදොර පිටිය අරගල භූමියේ පැවති නොසන්සුන්තාවයෙන් හා මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය වනවා.