Monday, April 29, 2024

General line - 0115112241

බෙහෙත් ගන්න මිලියන 450 ක් සොයා ගනී - බෙහෙත් එන්න ජූලි පහුවෙයි




සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා රජය සතුව රුපියල් මිලියන 450 ක මුදලක් මේවනවිට පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.  
 
විවිධ පරිත්‍යාගශිලීන් හා ආධාර ලබාදෙන කණ්ඩායම් මගින් ඖෂධ ලබාගැනීමට අවශ්‍ය එම මුදල් මෙරටට පරිත්‍යාග කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඖෂධ මිලදී ගැනීම සඳහා මෙරට වාර්ෂික මුදල් අවශ්‍යතාව අමෙරිකානු ඩොලර් මිලියන 260 ක් පමණ වනවා. එබැවින් තවත් අවුරුදු 02 ක පමණ කාලයක් සඳහා ඖෂධ මිලදී ගැනීමට මේවනවිට මුදල් ප්‍රමාණවත්ව පවතින බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ.

කෙසේවෙතත් හිගව පැවැති ඖෂධ සඳහා ඇනවුම් නිකුත් කිරීමෙන් අනතුරුව එම ඖෂධ නිෂ්පාදනය කර මෙරටට ලැබීමට යම් කාලයක් ගතවන බැවින් ජුනි සහ ජූලි මාස 02 තුලදී ඖෂධ සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.
 
එම කාල සීමාවෙන් අනතුරුව ඖෂධ සඳහා දීර්ඝකාලීන ගැටළු සහගත තත්ත්වයක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. හිගව පැවැති අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් සහ වෛද්‍ය උපකරණ තොගයක් ද මේවනවිටත් මෙරටට ලැබී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් සඳහන් කළා.