Friday, May 10, 2024

General line - 0115112241

ආහාර භෝග වවන්න දුම්රිය රක්ෂිත ඉඩම් බදු දීමට සැලසුම්




ඉදිරියේදී ඇතිවන බව කියන ආහාර අර්බුදයත් සමඟ බොහෝ දෙනෙකු මේ වන විට වගා කටයුතුවලට පෙළඹී සිටිනවා. තවත් පාර්ශවයකට දැන් ප්‍රශ්ණයක් වී ඇත්තේ වගා කිරීමට කැමැත්තක් ඇතත් ඊට ඉඩම් නොමැති වීමයි. ඊට විසදුමක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් ආහාර භෝග වගා සඳහා වසරක කාලයකට බදු දීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. 

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ගොවි සමිති සඳහා ඉතා සුළු බදු මුදලක් යටතේ අදාළ ඉඩම් ලබාදීමට සැලසුම් කර ඇති බවයි. 

මෙම කරුණු අනාවරණ වූයේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ ජනාධිපති මන්දිරයේ දී ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදීයි. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍ය බවයි. 

තෙල් මිල ඉහළ යාම හමුවේ පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බැවින් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. 

ඒ අනුව දුම්රිය හා බස් රථ සඳහා අඛණ්ඩව තෙල් සැපයීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරුණා. ගමනාගමන මණ්ඩලයට අයත් ඉන්ධන හල් මගින් රාත්‍රී කාලයේ පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන සැපයීමට පියවර ගැනීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

Park & Drive ක්‍රමය ව්‍යාප්ත කිරීමටත් ඒ සඳහා රථවාහන ගාල් කිරීමේ දී අයකරන ගාස්තු අඩු කිරීමටත් මෙහිදී තීරණය කර තිබෙනවා. කාර්යාල සේවය ඉලක්ක කරගනිමින් නව දුම්රිය ගමන් වාර ඇරඹීමටත්, සහ දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා මැදිරි සංඛ්‍යාව වැඩි කිරීමටත් මෙහිදී තීරණය වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.