Thursday, May 9, 2024

General line - 0115112241

එක්දින සේවාවෙන් නිකුත් කරන පාස්පෝට් ප්‍රමාණය ඉහළ දැමීමට රජයෙන් අලුත් වැඩක්




එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට මේ දිනවල බොහෝ පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම ඊට හේතුවයි. 

සාමාන්‍යයෙන් දෛනිකව එක්දින සේවාව යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය දෙදහසක් පමණ වනවා. එම ප්‍රමාණය 3,500 ක් දක්වා ඉහළ දැමීමටයි මේවනවිට තීරණය වී ඇත්තේ. ඒ සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සේවා මුර දෙකක් යටතේ කැඳවීමට ද තීරණය කර තිබෙනවා. ඒ අනුව උදෑසන 7 සිට පස්වරු 2 දක්වා සහ පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වා මෙම සේවාමුර 02 ක්‍රියාත්මකයි. 

මේ අතර විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන වසරේ සිට සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහාද සිදුකිරීමට තීරණය කර තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා අනෙකුත් ප්‍රාදේශීය කාර්යාලවල ක්‍රියාත්මක විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේම සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ. 

ඒ හරහා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වනවිට පවතින තදබදය අවමකර ගැනීමට හැකිවනු ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කළේ.