Friday, May 3, 2024

General line - 0115112241

චීනය සමග වන ගිවිසුමක් ඉරා දමා පිලිපීනයේ ජනාධිපති ගෙදර යයි




ධුරයෙන් ඉවත්ව යන පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ දකුණු චීන මුහුදේ ඒකාබද්ධ බලශක්ති ව්‍යාපෘතියක් සඳහා චීනය සමග වන සාකච්ඡා නතර කරන ලෙස නියෝග කර ඇති බව වාර්තාවනවා.

පිලිපීනයේ විදේශ ලේකම් ටියොඩෝරෝ ලොක්සින් සදහන් කරන්නේ දකුණු චීන මුහුදේ ඒකාබද්ධ තෙල් හා ගෑස් ගවේෂණය සම්බන්ධයෙන් බීජිං සමඟ සාකච්ඡා අවසන් කිරීමට පිලිපීනය කටයුතු කළ බවයි.

අදාළ සාකච්ඡා ආරම්භ වී වසර තුනක් ගතවී ඇතත්,  තෙල් හා ගෑස් සම්පත් සංවර්ධනය කිරීමේ පිලිපීන අරමුණෙහි කිසිදු කොටසක් ඉටුනොවී ඇති බව ද ඔහු පවසනවා.

දකුණු චීන මුහුදේ පිලිපීනය සහ චීනය අතර හිමිකම් සම්බන්ධයෙන් පවතින ගැටලු මැද පවා,  2018 දී පිලිපීන ජනාධිපති ඩුටර්ටේ චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ ඒකාබද්ධ සම්පත් ගවේෂණය ගිවිසුමක් අත්සන් තැබුවා.

ඒ අතරතුර චීනය , පිලිපීනයට අයත් අනන්‍ය සාගරික ආර්ථික කලාපයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් යෝජනා කළ අතර එහිදී දකුණු චීන මුහුදේ වැඩි කොටසකට චීනයේ හිමිකම ප්‍රතික්ෂේප කරන ජාත්‍යන්තර තීන්දුව පසෙකට දැමිය යුතු බවට ද කොන්දේසියක් පැනවූවා.

මේ අනුව අදාළ ගිවිසුම ක්‍රියාත්මක වීම ප්‍රමාද වූ අතර එය අවසන් කිරීමට ධුරයෙන් ඉවත්ව යන ජනාධිපති ඩු‍ටර්ටේ තීරණය කර ඇත්තේ මේ පසුබිම තුළයි.

 පිලිපීනයේ නව ජනාධිපති ලෙස තේරී පත් ව  ඇති  හිටපු ජනපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගෙ පුත්‍ කණිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් හෙට සිට ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.