Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දියාව සීනි සීමා කරයි




ඉදිරි කාලයේ රට තුළ සීනි පරිභෝජන අවශ්‍යතා ඉහළ යාමට නියමිත වීම මෙන්ම දේශීය සැපයුම් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සීනි අපනයනය සීමා කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
 
ඒ අනුව ඉදිරි මාස දෙකක කාලය තුළ සීනි මෙට්ට්‍රික් ටොන් මිලියනයක උපරිමයකට යටත් වන පරිදි අපනයන කටයුතු සිදුකරන ලෙස එරට ආහාර අමාත්‍යාංශය සීනි නිෂ්පාදකයන්ට නියෝග නිකුත්කර ඇති බව සදහන්.
 
ලොව දෙවැනි විශාලතම සීනි නිෂ්පාදකයා වන ඉන්දියාව 2017-18 වසරේ සීනි ටොන් හයලක්ෂ විසි දහසක් ද 2019-20 දී ටොන් මිලියන 3.8 ක් ද 2018-19 දී ටොන් මිලියන 5.96 ක් ද   ජාත්‍යත්තරයට අලෙවි කිරීමට කටයුතු කළා.

පසුගිය වසරේ සීනි  ටොන් මිලියන හයක් එලෙස අපනයනය කිරීමට සැලසුම්කර තිබූ නමුත් එවර අපනයනය කළ සීනි ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් මිලියන හතක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්. 

කෙසේවෙතත්, මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ සීනි අපනයනය මිලියන 7-8 අතර ප්‍රමාණයකට අඩුවෙතැයි අපේක්ෂා කෙරෙනවා.

 ඒ එතනොල් වැනි නිෂ්පාදන වෙනුවෙන් නිෂ්පාදකයන් තුළ පවතින නැඹුරුවීම හේතුවෙන් බව සදහන්. 

පසුගිය අප්‍රේල් 01 වැනි දා සිට ජූනි 2 වැනිදා දක්වා ඉන්දියාව සීනි ටොන් මිලියන 3.06 ක් අපනයනය කර ඇති අතර එය එම කාල සීමාව තුළ පෙර වසරේ අපනයනය කළ සීනි ප්‍රමාණයට වඩා සියයට 53 ක වැඩිවීමක්.

මේ ආකාරයෙන් සීනි අපනයනය ඉහළ ගියහොත් එළැඹෙන උත්සව සමයේදී ඉන්දියාවේ සීනි හිඟයක් ඇතිවීමට ඉඩ ඇති හෙයින්  නිශ්චිත කාල සීමාවකට සීනි අපනයනය සීමා කිරීමට ආහාර අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.