Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්ධන පිරවුම්හලකදී හමුදා නිලධාරියෙකු විසින් තරුණයෙකුට එල්ල කළ ප්‍රහාරය (VIDEO)




කුරුණෑගල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක දී ඇතිවූ සිදුවීමකින් පසුව යුද හමුදා නිලධාරියෙකු විසින් සාමාන්‍ය සිවිල් වැසියෙකුට පයින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ සිවිල් ජනතාව දින ගණන් ඉන්ධන පෝලිම්වල රැඳී සිටිම මේ වන විට සෑම ප්‍රදේශයකම සුලභව දකින්නට ලැබෙන සිදුවීමක්.

පවතින ඉන්ධන තොග සීමා සහිතව බෙදා හැරීමට රජය විසින් පසුගියදා තීරණය කළ අතර ලංකා IOC සමාගම තමන් සතුව පවතින ඉන්ධන සිය පිරවුම්හල් ඔස්සේ මහජනතාවට නිකුත් කිරීම සිදුකරනු ලබනවා.

එවන් පසුබිමක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විවිධ අවස්ථාවන් වලදී මහජනතාව කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධීන් වාර්තා වීමෙන් පසු ක්‍රමවත් අයුරින් ඉන්ධන බෙදා හැරීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යෙදවීමට රජය පසුගියදා පියවර ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අප සිදුකළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කර සිටියේ කුරුණෑගල, යග්ගහපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල රාජකාරියේ යෙදී සිටි පොලිසියේ සහ හමුදාවේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු පුද්ගලයින් පිරිසක් කටයුතු කරමින් සිට ඇති බවයි.

ඒ අනුව හමුදා නිලධාරීන් විසින් එක් පුද්ගලයෙකු අල්ලා ගෙන පැමිණීමේදී මෙම වීඩියෝවේ දැක්වෙන සිදුවීම සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ හමුදා නිලධාරියාට එරෙහිව ආයතනික මට්ටමින් විමර්ශනයක් සිදුකරන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

හමුදාවේ සහ පොලිසියේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරුණු පුද්ගලයින් දෙදෙනකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද මෙහිදී හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.