Thursday, May 2, 2024

General line - 0115112241

ගංවතුරෙන් ඕස්ට්‍රේලියාවට දැඩි බලපෑම් - සිඩ්නි වැසියන් දහස් ගනණක් නිවෙස්වලින් ඉවතට




තද වැසි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඉන් වැඩිම ආපදා තත්තවයක් වාර්තා වන්නේ සිඩ්නි නගරයෙන්. ගංගා පිටාර ගැලීම නිසා සිඩ්නි නගරයට ගංවතුර ආපදා තත්ත්වයක් බලපෑ ඇති අතර නිවාස රැසක් ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කලා. 

ඊයේ දිනය වනවිට සිඩ්නි නුවරට මිලිමීටර් 300 කට වැඩි වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා. ඉදිරි පැය 24 තුලදී මිලිමීටර් 200 ට වැඩි වැසි ඇදහැලෙනු ඇතැයි අපේක්ෂිතයි. පවතින ආපදා තත්ත්වය හමුවේ සිඩ්නි වැසියන් දහස් ගනනක් සිය වාසස්ථානවලින් ඉවත් කර තිබෙනවා. ජල ගැලීම් හේතුවෙන් සිරවී සිටින පිරිස් මුදා ගැනීම සදහා සහන සේවකයින් මෙන්ම හෙලිකොප්ටර් යානා ද යොදවා ඇතැයි සිඩ්නි බලධාරීන් සදහන් කරනවා. 

ඇතැම් පිරිස් අනතුරු ඇගවීම් නොතකා තවදුරටත් නිවෙස් තුල රැදී සිටින බවටයි බලධාරීන් චෝදනා කරන්නේ. මෙම ආපදා තත්ත්වය මින් පෙර මුහුන පෑ තත්ත්වයක් නොවිය හැකි බැවින් හැකි ඉක්මනින් නිවාස අතහැර ආරක්ශිත ස්ථාන කරා යොමු වන්නැයි බලධාරීන් දැනුම් දෙනවා.

සිඩ්නි වරාය අසලින් පුද්ගල මල සිරුරක් ද හමුවී ඇති අතර ඔහු දැඩි සුලගට ගසා ගෙන ගිය අයෙක් විය හැකි බවටයි බලධාරීන් සැක පල කරන්නේ. සිඩ්නි නගරයට මාසයකදී අපේශිත වර්ෂාව සතියකදී ඇදහැලී ඇති බවද කාලගුණ අංශ පවසනවා.