Wednesday, May 8, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් ලැබෙන පළමු යුරියා පොහොර තොගය හෙට දිවයිනට




ඉන්දීය රජය විසින් ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ලබා දෙන යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 65,000 න් පළමු තොගය වන මෙට්ට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාව හෙට පෙරවරු 11ට කොළඹ වරායට ලගා වීමට නියමිතයි. 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ඉතිරි මෙට්ට්‍රික් ටොන් 25,000 පොහොර තොගය දෙවන අදියර යටතේ ලැබීමට නියමිත බවයි. 

මෙම යූරියා මෙට්ට්‍රික් ටොන් 65,000න් 30,000ක් වී වගාව සඳහාත්, මෙට්ට්‍රික් ටොන් 20,000ක් බඩඉරිගු වගාව සඳහාත් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. ඉතිරි පොහොර තොගය තේ වගාව සඳහා වෙන් කරනු ඇති. 

අන්තර්ජාතික රසායනාගාර තුනකින් මෙම යූරියා පොහොරවල අන්තර්ගත බයියුරේට් ප්‍රතිශතය සියයට 1 ට වඩා අඩු බවත්, එම පොහොරවල ප්‍රමිතිය උසස් තත්ත්වයේ පවතින බවත් තහවුරු කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. කෙසේ වෙතත් කොළඹ වරායේදී පොහොර තොගය ගොඩබෑමට පෙර ශ්‍රී ලංකාවද රසායනාගාර පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

මෙම පොහොර බෙදා හැරීම හෙට පස්වරුවේ සිට ආරම්භ කරනු ඇති. දින 10 ක් තුළ ලොරි රථ 800 ක් යොදා ගනිමින් ලොරි තොග 2000 ක් හරහා ගොවිජනසේවා මධ්‍යස්ථාන 566 ක් මඟින් පොහොර බෙදා දීමටයි සැලසුම් කර ඇත්තේ.