Wednesday, May 8, 2024

General line - 0115112241

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය ගැන CPC වෙතින් නිවේදනයක්




ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ සභාපතිවරයාගේ ප්‍රකාශය සම්පූර්ණ කරුණු අධ්‍යයනයකින් තොරව සිදු කර ඇති බවයි.

ඒ අනුව අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණීමෙන් පසු ඒ සඳහා ආනයනික බදු ගෙවීමේදී නිශ්චිත මිල අගයන් ප්‍රකාශිත නොවීම හේතුවෙන් මිලෙහි නාමික අගයක් යටතේ තාවකාලික රේගු සටහන්කරයක් ඉදිරිපත්කර අදාළ බදු මුදල් ගෙවීමෙන් පසු ඉන්ධන තොගය ගොඩ බාන බවයි. 

පසුව ඉන්ධන තොගයට අදාළ නියමිත මිල ගණන් ප්‍රකාශිත වූ පසු ඊට අදාළ ලියකියවිලි බැංකු පද්ධතිය මගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ලබා ගෙන අවසන් රේගු සටහන්කරය සකස්කර සත්‍ය අගය මත හිඟ බදු මුදල් ශ්‍රී ලංකා රේගුව වෙත ගෙවීම් කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. 

”මෙය ඛනිජ තෙල් ආනයනයේදී පෙර සිටම සිදු කළ ක්‍රියාදාමය බවත් ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා අදාළ ප්‍රකාශය සඳහා පාදක කරගෙන ඇත්තේ තාවකාලික රේගු සටහන්කරයේ මිල බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.