Saturday, May 4, 2024

General line - 0115112241

ජපාන අගමැතිගේ ඝාතනය ගැන එරට බලධාරීන්ට සැකයක්




අද උදෑසන වෙඩික්කරුවෙකුගේ ඉලක්කයක් බවට පත්වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ අභාවප්‍රාප්ත වුණා. අනපේක්ෂිත ලෙස ඔහු එලෙස සිය දිවියට සමුදුන්නේ දීර්ඝ කාලයක් ජපානයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ පුද්ගලයා මෙන්ම ජාත්‍යන්තරය තුළ වැඩිම කීර්තියට පත් ජපන් අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුගේ නම එරට ඉතිහාසය තුළ සනිටුහන් කරමින්. 

ෂිංසෝ අබේ යනු ලොව රටවල් රැසක රාජ්‍ය නායකයින් සමග ඉතා සමීපව කටයුතු කළ පුද්ගලයෙක්. සිය හිතමිතුරු පාර්ශව මෙන්ම ප්‍රතිවිරුද්ධ මතධාරී රාජ්‍ය නායකයින් සමග ද ෂිංසෝ අබේ ඉතා සුහදශීලී ලෙස මෙන්ම නම්‍යශීලී ලෙස කටයුතු කළා.

එබැවින් ලොව රටවල් රැසක් මේවනවිටත් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ජපානය වෙත සිය ශෝකය පළ කර ඇති අතර රාජ්‍ය නායකයින් රැසක් පෞද්ගලිකවම සිය ශෝකය පළ කර තිබෙනවා. සිය සමීප රාජ්‍ය නායකයාගේ වියෝවට ශෝකය පළ කරමින් ඉන්දියාව හෙට දිනය රජයේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්. 

අනිද්දා පැවැත්වීමට නියමිත ජපන් පාර්ලිමේන්තුවේ මැතිවරණයට සමගාමීව නාරා නගරයේ පැවැති පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන රැස්වීමක් අමතමින් සිටියදීයි ෂිංසෝ අබේ වෙඩි ප්‍රහාරයට ලක්වුණේ. වෙඩික්කරු විසින් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පිටුපසින් පැමිණ ඔහුට නුදුරු ස්ථානයකදී වෙඩි ප්‍රහාර එල්ල කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

අදාළ වෙඩි ප්‍රහාර හමුවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ බෙල්ලට සහ පපුවේ පිටුපසින් ළය ප්‍රදේශයට තුවාල සිදුව තිබුණා. 
එසැනින් හිටපු අග්‍රාමාත්‍යවරයා ගුවන් මගින් රෝහල්ගත කළත් එම අවස්ථාව වනවිටත් අග්‍රාමාත්‍යවරයාගේ හෘද ස්පන්ධනය නැවතී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ෂිංසෝ අබේගේ ජීවිතය බේරා ගැනීමට වෛiවරුන් දැඩි උත්සහයක් දැරූ නමුත් එය අසාර්ථකවීම හමුවේ පැය 06 කට පමණ පසුව ජපන් රජය හිටපු අග්‍රාමාත්‍ය ෂීංසෝ අබේගේ අභාවය නිවේදනය කළා.

ජපානය තුළ ගිනිඅවි ප්‍රචණ්ඩත්වය මෙන්ම දේශපාලන ප්‍රචණ්ඩත්වයද අතිශය දුර්ලභ වනවා. එරට තුළ අග්‍රාමාත්‍යවරයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 1936 වසරින් පසුව පළමුවරට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේවෙතත් ෂිංසෝ අබේට වෙඩි ප්‍රහාර එල්ල කළ සැකකරු මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 41 හැවිරිදි පුද්ගලයෙක්. නිවසේදී නිර්මාණය කළ ගිනිඅවියකට සමාන අවියක් භාවිත කර ඔහු මෙම ඝාතනය සිදුකර ඇති අතර සැකකරුගේ නිවසේ තිබී තවත් පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

මනුෂ්‍ය ඝාතන චෝදනා සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ රඳවා සිටින අතර ඔහු පවසන්නේ ෂිංසෝ අබේගේ ක්‍රියාකලාපයට පවතින අකමැත්ත හමුවේ මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. කෙසේවෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් ජපන් බලධාරින්ට තවත් සැකයක් මතුව තිබෙනවා.

ඒ අදාළ දේශපාලන රැස්වීමට සහභාගී වන බවට ෂිංසෝ අබේ සිය පැමිණීම දන්වා ඇත්තේ ඊයේ රාත්‍රියේදීයි. එබැවින් ඉතා කෙටි කාලයක් තුළ සැකකරු මෙම ප්‍රහාරය සැලසුම් කළේ කෙසේද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.