Sunday, May 5, 2024

General line - 0115112241

ඉදිරි සාකච්ඡා සඳහා දේශපාලන අර්බුදය ඉක්මනින් විසඳා ගන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි




ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි මෙරට දූත මණ්ඩල ප්‍රධානීන් දෙදෙනෙකු පවසා ඇත්තේ දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව, ණය වැඩසටහන පිළිබඳ සංවාද යළි ආරම්භ කිරීම සඳහා මේවනවිට පවතින දේශපාලන අර්බුදය ඉක්මනින් විසඳා ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි. එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ සහ 

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් සමඟ තාක්ෂණික සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළා.  

මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ද අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ආර්ථීක ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අමෙරිකාව මෙරට නායකයින්ගෙන් ඉල්ලීමක් කරන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මීලගට පත්වන ඕනෑම නව රජයක් දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයක් අත්කර ගැනීමට කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබෙනවා. එමෙන්ම නව රජයක් මගින් ශ්‍රී ලාංකික ජනතාවගේ ගැටළුවලට විසඳුම් ගෙන ආ යුතු බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇත්තේ.