Friday, May 10, 2024

General line - 0115112241

උෂ්ණත්වය ඉහළ යාමෙන් යුරෝපයට දැඩි පීඩා - රටවල් කිහිපයක් ලැව්ගිනි අවදානමේ




මේදිනවල බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ බටහිර කලාපයට දැඩි පීඩා එල්ල වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ පවතින තත්ත්වය හමුවේ රටවල් කිහිපයක් ලැව්ගිනි අවදානමට මුහුණ දී සිටින බවයි. එලෙස ලැව්ගිනි අවදානමට මුහුණ පා සිටින්නේ ප්‍රංශය, පෘතුගාලය හා ස්පාඤ්ඤයයි. 

පෘතුගාල බලධාරීන්ට අනුව ඉකුත් සතියේදී බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් මේවනවිට එරටින් පුද්ගල මරණ 238 ක් වාර්තා වනවා. පෘතුගාලයේ, ස්පාඤ්ඤ දේශසීමාවට ආසන්න ප්‍රදේශවල සීග්‍රයෙන් ලැව්ගිනි පැතිර යමින් ඇති අතර අවදානම් සීමාවේ පසුවූ සිය ගනණක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටයි බලධාරින් පියවර ගෙන තිබුණේ. පෘතුගාලයේ ලැව්ගිනි පාලනය කිරීමේ මෙහෙයුම්වලට යොදවා තිබූ කුඩා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි නියමුවා ද මියගොස් තිබෙනවා. 

මේ අතර මේදිනවල යුරෝපයට බලාපා ඇති දැඩි උෂ්ණත්වය හමුවේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටක් වන්නේ ප්‍රංශයයි. ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයක  ප්‍රබල ලැව්ගිනි පැතිර යන අතර ප්‍රබල සුළං ධාර හමුවේ වනවගා ප්‍රදේශවල දැඩි ලෙස ලැව්ගිනි ව්‍යාප්තවෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලැව්ගිනි හේතුවෙන් ප්‍රංශය තුළ මේවනවිට හෙක්ටයාර 10,000 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පැවසෙනනේ. අවදානම් කලාප වල සිට පුද්ගලයින් 12,000 ක් පමණ මේවනවිටත් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. 

ස්පාඤ්ඤයෙන් ද මේවනවිට සෙල්සියස් අංශක 45 ට වැඩි උෂ්ණත්වයක් වාර්තා වනවා. එම උෂ්ණාධික තත්ත්වය හමුවේ ස්පාඤ්ඤයේ ද ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි පැතිරෙමින් ඇති අතර පොලිස් කණ්ඩායම් එක්ව අවදානම් කලාපවල වෙසෙන පිරිස් මුදා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. 

මීට අමතර ඉතාලිය, බ්‍රිතාන්‍යය මෙන්ම ග්‍රීසියටද මේදිනවල දැඩි උෂ්ණත්වයක් බලපාමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.