Monday, May 20, 2024

General line - 0115112241

යුපුන් සිය පදක්කමේ ගෞරවය ප්‍රේක්ෂකයින්ට සහ ලාංකිකයින්ට පුදකරයි




තමා දිනූ පදක්කම තමාගේ ධාවන තරඟ දෙස බලා සිටි සියලු ප්‍රේක්ෂකයින්ට සහ සියලු ශ්‍රී ලාංකිකයින්ට පුදකරන බව කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් පවසනවා. ඒ, එංගලන්තයේ බර්මින්ග්හැම් නුවරදී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තම ඉදිරි අනාගතය සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා බලධාරීන් සමඟ ද සාකච්ඡා කරන බවයි යුපුන් එහිදී පැවසුවේ. 

යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වෙන් අද දිනූ ලෝකඩ පදක්කම සටහන් වූයේ වසර 24 කට පසු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මළල ක්‍රීඩා ඉසව්වකින් දිනූ පළමු පදක්කම ලෙසයි. 1950 වසරේදී ඩන්කන් වයිට් රන් පදක්කමක්, 1998 දී ශ්‍රීයානි කුලවංශ රිදී පදක්කමක්ද, 1998 දීම සුගත් තිලකරත්න පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලවලදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනාදී තිබුණා. ඒ අනුව යෙ සැලකෙන්නේ වසර 92 ක පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ සිව්වන මළල ක්‍රීඩා පදක්කම ලෙසයි.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මීටර් 100 ධාවන ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රිඩකයා ලෙස ද යුපුන් අබේකෝන් අද ඉතිහාසයට එක් වුණා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ඉසව්වේ අවසන් තරඟයකට සහභාගීවී ඉන් පදක්කමක් දිනූ පළමු ආසියානු ක්‍රීඩකයා වන්නේද ඔහුයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ඉසව්වෙන් අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රිඩකයා බවට ද පත්වූ යුපුන් එහිදී ලෝකඩ පදක්කම දිනාගත්තේ තත්ත්පර 10 යි දශම එකයි හතරකින් තරඟය නිමකරමින්. ඒ අනුව යුපුන්ට රිදී පදක්කම අහිමි වූයේ තත්ත්පර බිංදුවයි දශම බිංදුවයි එකකින් වීම විශේෂත්වයක්. තරඟ ඉසව්වෙන් පසු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් යුපුන් අබේකෝන් පැවසුවේ මෙය තවත් දැවැන්ත සිදුවීම් මාලාවක ආරම්භයක් බවයි.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසි කිරීමේ පැරා මළල ක්‍රීඩා ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකාවේ පාලිත හල්ගහවෙල සිය දක්ෂතාව පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.

එංගලන්තයේ බර්මින්ග්හැම් නුවරදී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ 24 වන ස්ථානයේයි. ඒ, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින්.