Wednesday, November 27, 2024

General line - 0115112241

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි - අද රටම වළාකුලෙන් වැසෙයි




නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසුවේ පවතින තත්ත්වය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරුමැද, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලටත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි. 


දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික ගමන්වලින් වැළකෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙස නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. 

ඒ, ගතවූ පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවූ තද වැසි ඇදහැලීම හේතුවෙන්. හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවට කෝරළය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, උඩුනුවර, පාතදුම්බර, දෙල්තොට, මහනුවර දිස්ත්‍රික්කයේ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වනවා.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09කට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. 

මාතලේ, උකුවෙල, යටවත්ත, රත්තොට, විල්ගමුව, අඹන්ගඟ කෝරළය, ලග්ගල, පල්ලේගම, පල්ලේපොළ, නාඋල, මාතලේ දිස්ත්‍රික්කයේ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ වර්ෂාව තවදුරටත් පවතින්නේ නම් බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩාවැටීම් අනතුරුවලින් වැළකීම සඳහා කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසයි.