Sunday, April 28, 2024

General line - 0115112241

ඊශ්‍රායලයෙන් අඛණ්ඩව ප්‍රහාර - ගාසා තීරය ලෝක ප්‍රජාවගෙන් සහය ඉල්ලයි




ඊශ්‍රායලෙයන් අඛණ්ඩව එල්ල වෙමින් ඇති ගුවන් ප්‍රහාර හමුවේ ගාසා තීරය, ලෝක ප්‍රජාවගෙන් සහය ඉල්ලා තිබෙනවා. ඒ, ගාසා තීරය තුළ මේවනවිට පවතින ඉන්ධන අර්බුදය හමුවේයි. 

ගාසා තීරය ඉලක්ක කර දෙවන දිනටත් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ ළමුන් ද ඇතුළුව ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 31 දෙනෙකු මියගියා. තුවාල ලැබූ පිරිස 260 කට අධිකයි. 

තුවාලකරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට හෝ රෝහල්වල දෛනික කටයුතු පවත්වාගෙන යාම අර්බුදකාරී වී ඇති බවයි ගාසා හි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. පවතින ඉන්ධන හිගය හමුවේ ගාසා තීරයට විදුලි සැපයුම පවතින්නේ දිනකට පැය 04 ක කාලයක් පමණයි. 

එවැනි තත්ත්වයක් යටතේ රෝහල් කටයුතු පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ඉන්ධන තොග රෝහල් සතුව නොමැති බව ද ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එවැනි තත්ත්වයක් යටතේ ගුවන් ප්‍රහාරවලට ලක්වීම හේතුවෙන් තුවාල ලබන පුද්ගලයින් රෝහල් වෙත රැගෙන ආවත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට නොහැකි තත්ත්වයක් ගාසා තීරය තුළ මේවනවිට උද්ගත වී තිබෙනවා. 

එබැවින් පවතින තත්ත්වය සලකා බලා රෝහල් කටයුතු පවත්වාගෙන යාමට ඉක්මනින් සහය ලබාදෙන ලෙස ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂවරයා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. 

මේ අතර ඊශ්‍රායලය පැවසුවේ ගාසා තීරයේ සිටින ජිහාඩ් සටන්කාමීන් ඉලක්ක කර ඉදිරි සතිය පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.