Sunday, April 28, 2024

General line - 0115112241

නව වෛරසයක් ආසාදනය වූ රෝගීන් පිරිසක් චීනයෙන් හමුවෙයි : මෙවර රෝග වාහකයා "හික් මීයෙක්‌ "




නැගෙනහිර චීනය ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින නව වෛරස් රෝගයක් සම්බන්ධයෙන් මේ වන විට එරට සෞඛ්‍ය අංශවල වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

මාරාන්තික නිපා සහ හෙන්ඩ්‍රා වෛරස් පවුලෙන් පැවත එන බව කියන මෙම නව වෛරසයට Langya henipavirus හෙවත් LayV යනුවෙන් නම් කර ඇති බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.

නැගෙනහිර චීනයේ පැතිරී යන උණ රෝගයක් හේතුවෙන් සිදුකරනු ලැබූ වෛද්‍ය පර්යේෂණවලදී පුද්ගලයින් 37 දෙනෙකු ගෙන් 26 දෙනෙකුටම මෙම LayV හෙවත් Langya henipavirus යන වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත.

මෙලෙස වෛරසයට ගොදුරුවූ බහුතරය ගොවීන් බවයි වාර්තා වන්නේ.

මෙම වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි සඳහන් වන්නේ.

මෙම වෛරසය "හික් මීයන්" ගෙන් ආසාදනය වන වෛරසයක් බවයි විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ.

අධික තෙහට්ටුව, කැස්ස, ආහාර අරුචිය, මාංශ පේශි කැක්කුම, රුධිර සෛලවලට හානි සිදුවීම, අක්මාව සහ වකුගඩු හානිවීම මෙම වෛරසයේ ආසාදනය සමග ඇති වන මුලික රෝග ලක්ෂණ ලෙස හඳුනා ගෙන ඇත.

මුල් අවදියේ පසුවන මෙම නව වෛරසයේ හැසිරීම සහ එමගින් ඇතිවිය හැකි බලපෑම ගැන වැඩිදුර පර්යේෂණ කිරීම අත්‍යාවශ්‍ය බවයි වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.