Sunday, April 28, 2024

General line - 0115112241

මහනුවර අවසන් රන්දෝළි පෙරහැර විචිත්‍රවත් ලෙස අවසන් - පෙරහැර අසිරිය භාෂා 10කින් ලෝකයටම

හේරත් ඒකනායක - මහනුවර




මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය අද අලුයම අති සාර්ථකව නිමාවට පත් වුණා. ඒ, සිව්මහා දේවාල කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුවයි. අද පැවැත්වෙන දහවල් පෙරහැරෙන් අනතුරුව මෙවර පෙරහැර මංගල්‍යය අවසන් වනු ඇති.

ඊයේ පස්වරු 6 යි 35 ට යෙදුණු සුබ මොහොතින් ආරම්භවූ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝළි පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා. ඒ, දළඳා වීදිය, යටි නුවර වීදිය, කන්දේ වීදිය, ඩී එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් යළි ගෙවැදීමෙන් අනතුරුවයි. 

සුපුරුදු පරිදි දළඳා මාළිඟාවේ විචිත්‍රත්වය ඔප් නැංවූ සංස්කෘතිකාංග රැසක් ඊට ඇතුලත් කර තිබූ අතර මෙවර අවසන් රන්දෝළි පෙරහැරේ කරඬුව වැඩම කරනු ලැබුවේ ඉන්දි රාජා මඟුලැතු විසින්. ඒ, මෙතෙක් කරඬුව වැඩම කෙරවූ නැදුන්ගමුවේ රාජා හස්ථියා මියයාමෙන් අනතුරුවයි. ඊයේ රාත්‍රියේ අවසන් රන්දෝළි පෙරහැරේ දෑළේ ඇතුන් ලෙස ගමන් කළේ මියන් රාජා හා බුරුම රාජා යන හස්ථීන්.

අවසන් රන්දෝළි පෙරහැර නැරඹීම සඳහා ද ඊයේ රාත්‍රියේත් අතිවිශාල ජනකායක් රැස්ව සිටිනු දැකගත හැකි වුණා. පෙරහැර ගමන් ගත් සියලු මාර්ග ජනතාවගෙන් පිරී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා පැමිණ සිටියා.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර පිළිබඳ මෙම වාර්තාව නෙත් නිවුස් මහනුවර වාර්තාකරු හේරත් ඒකනායකගෙන්.

මේ අතර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝළි පෙරහැරේ අසිරිය ලොව පුරා සජීවීව විකාශය කිරීමට ද ශ්‍රී දළඳා මාළිඟාව  කටයුතු කර තිබුණා. එම විකාශන කටයුතු සිදු කෙරුණේ භාෂා 10 කින් වීමද විශේෂත්වයක්. ඒ, සිංහල, දෙමළ, ඉංග්‍රීසි, චීන, හින්දි, ජපන්, ජර්මන්, තායි, ප්‍රංශ සහ කොරියා යන භාෂාවලින්.

මේ අතර රුහුණු මහා කතරගම දේවාලයේ අවසන් රන්දෝලි මහ පෙරහැර ද ඊයේ රාත්‍රියේ උත්කර්ශවත් ලෙස වීථි සංචාරය කෙරුණා. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ 765 වැනි රන්දෝලි පෙරහැර ද වීථි සංචාරය කෙරුණේ ඊයේ රාත්‍රියේයි.