Monday, April 29, 2024

General line - 0115112241

චීන වැසියන් නිවෙස් අතහැර ගල්ගුහා සොයා යයි




පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ චීනයේ පළාත් කිහිපයකම වැසියන් පීඩාවට පත්ව සිටිනවා. ඒ අතරින් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ චොන්යින් සහ සිචුවාන් පළාත්වල වැසියන්. එම පළාත්වල මේ දිනවල උෂ්ණත්වය වාර්තා වන්නේ සෙල්සියස් අංශය 40 ට වැඩි අගයකටයි. පවතින තත්ත්වය හමුවේ යැන්සි ගංගාවේ ජලය සිඳී ගොස් ඇති බැවින් ජල විදුලි උත්පාදනය සීමාවීම නිසා ප්‍රදේශ රැසක විදුලිබල සැපයුමට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

එබැවින් වායු සමීකරණ භාවිතයට සීමා පනවා ඇති අතර දුම්රිය ස්ථාන වැනි පොදු ස්ථාන ක්‍රියාත්මක වන්නේ අඩු ආලෝක ධාරා යටතේයි. පෞද්ගලික නිවාස සංකීර්ණවල මෙන්ම කාර්යාල පිහිටි ගොඩනැගිලිවල ද විදුලි සෝපාන ක්‍රියාත්මක කිරීමට ද සීමා පනවා තිබෙනවා. 

පවතින තත්ත්වය හමුවේ නිවෙස් තුළ රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් චොන්යින් සහ සිචුවාන් වැසියන් විකල්පයක් ලෙස පැරණි බංකර් සහ ගල්ගුහා ආශ්‍රිතව පිහිටා ඇති අවන්හල් වැනි ස්ථාන සොයා යන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පිටත පවතින උෂ්ණත්වය භූ ගත ස්ථාන තුළ නොමැති බැවින් අවශ්‍ය පහසුකම් සපයා ගෙන චොන්යින් සහ සිචුවාන් වැසියන් දිවා කාලයේදී හා රාත්‍රියේදි එවැනි ගල්ගුහා ආශ්‍රිතව පිහිටා ඇති අවන්හල් වෙත එක් රැස් වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.