Friday, May 10, 2024

General line - 0115112241

සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර රුසියාවේ කසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ "හොඳම නළුවා" ට හිමි සම්මානයෙන් පිදුම් ලබයි




රුසියාවේ ටටස්ථාන් ජන රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව වාර්ෂිකව පැවැත්වෙන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේ (Kazan International Muslim Fim Festival) 18 වෙනි අදියර ඊයේ (11 වෙනිදා) රාත්‍රියේදී පෞරාණික කසාන් නුවර පිරමීඩ්  සංකීර්ණයේදී අති උත්සව ශ්‍රීයෙන් නිමාවිය. එහිදී කාන්, ලන්ඩන් ,බූසාන් ආදී ලෝ ප්‍රකට සිනමා උළෙල නියෝජනය කළ සිනමාපට ඇතුළුව පසුගිය දෙවසර තුළ ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ සිනමා 10 ක් අන්තර්ගත වූ උළෙලේ ප්‍රධානතම  තරගකාරී අංශයේ "හොඳම නළුවා"ට හිමි සම්මානයෙන් සමව පිදුම් ලැබීමට 'ද නිවුස්පේපර්" චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පන පෙවූ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සමත්වූහ.

2005 වර්ෂයේ සමාරම්භය සනිටුහන් කළ කසාන් සිනමා උළෙලේ ශ්‍රී ලාංකේය සිනමාපටයක් සම්මානයකින් පිදුම් ලද දෙවෙනි අවස්ථාව මෙය වූ අතර, මීට පෙර 2018 වර්ෂයේදී සමීර නාඔටුන්නගේ "මෝටර් බයිසිකල්" සිනමාපටය "රුසියානු සිනමා විචාරක සංසදය" විසින් පිරිනමන ස්වාධීන ජූරි සම්මානයෙන් පිදුම් ලැබීය. එහෙත් උළෙලේ ප්‍රධානතම ජූරිය විසින් පිරිනැමූ සම්මානයකට ශ්‍රී ලාංකේය සිනමාපටයක් හිමිකම්  කියූ පළමු අවස්ථාව "ද නිවුස්පේපර්" හරහා සටහන් වීම කැපී පෙනේ. එසේම කසාන් උළෙල  නියෝජනයට වරම් ලද සිව්වෙනි ශ්‍රී ලාංකේය සිනමාපටය "ද නිවුස්පේපර්" විය. එහිදී "මෝටර් බයිසිකල්" හා  "ද නිව්ස්පේපර්" ප්‍රධානතම තරගකාරී අංශය ( Full Length Feature Competition)  යටතේද, සංජීව පුෂ්පකුමාරගේ "දැවෙන විහඟුන්" (2017 දී) සහ මාලක දේවප්‍රියගේ "බහුචිතවාදියා" (2018 දී) තරගයෙන් බැහැර වූ අංශය (Out of Competition) යටතේද උළෙලේ තිරගත විය.  

ෆිඇප්ෆ් (FIAPF ) අනුමැතිය හිමිවූ ඉන්දියාවේ බෙංගලුරු අන්තර්ජාතික සිනමා උළෙලේදී දෙවෙනි හොඳම ආසියානු සිනමාපටයට හිමි සම්මානයෙන් (Second Best Asian Film) "ද නිවුස්පේපර්" චිත්‍රපටය පිදුම් ලැබීමත් සමග, සෙසු අන්තර්ජාතික සිනමා උළෙලවලදී "ද නිව්ස්පේපර්" චිත්‍රපටය වෙත විශේෂ අවධානයක් හිමි විය. එහෙයින් මේ දක්වා "ද නිවුස්පේපර්" චිත්‍රපටය නියෝජනය කළ සියලුම අන්තර්ජාතික සිනමා උළෙල වලදී සම්මානයකින් පිදුම් ලැබීමට හෝ සම්මාන‍යක් සදහා නිර්දේශ වීමට හෝ "ද නිවුස්පේපර්" සමත්ව තිබීම කැපී පෙනේ. කසාන් උළෙලේදී ලද සම්මානයත් සමග මේ වනවිට අන්තර්ජාතික උළෙලවලදී "ද නිවුස්පේපර්" දිනා ඇති  සමස්ත  සම්මාන සංඛ්‍යාව 08 ක් බවට පත්වේ.

බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ "ද නිවුස්පේපර්", රුසියාවේ කසාන් සිනමා  උළෙලට නිර්දේශ කිරීම හා සම්බන්ධීකරණය යූඑල්කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම විසිනි. 

ජායාරූප: 

කසාන් සිනමා උළෙලේ  සංවිධායක මඩුල්ලේ ඇරයුමෙන් උළෙලේ සමාප්ති උළෙලට සහභාගි වූ "ද නිවුස්පේපර්" චිත්‍රපටයේ නිෂ්පාදක බන්දුල ගුණවර්ධන, සරත් කොතලාවල හා කුමාර තිරිමාදුරට හිමිවූ "හොඳම නළුවා" සම්මානය දෝත දරන මොහොත.