Saturday, May 4, 2024

General line - 0115112241

දීර්ඝ විදුලි කප්පාදුව නතර කළ නොහැකි වනු ඇතැයි ලංවිමෙන් අනතුරු ඇගවීමක්




මෙරට විදුලි උත්පාදනයට අවශ්‍ය ගල් අගුරු දීර්ඝ කාලීනව ලබාගැනීම සඳහා අළුතින් ටෙන්ඩර් කැඳවීමට තීරණය කළද ලබන මාසයේ සිට දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඉකුත් දා පැවසුවේ දිගුකාලීන ණය පදනමක් මත ගල් අගුරු සැපයීමට හැකියාව ඇති ඕනෑම සුදුසු සැපයුම්කරුවෙකුට ඉඩ සලසමින් ජාත්‍යන්තර විවෘත තරගකාරී නව ටෙන්ඩරයක් ප්‍රකාශයට පත් කිරීමට ගල් අගුරු සමාගම තීරණය කර ඇති බවයි. දැනට මතුව ඇති ගල් අඟුරු හිගය මගහරවා ගැනීම සඳහා ඉකුත් වසරේ නිකුත් කර ඇති ටෙන්ඩරයට අනුව ලැබීමට නියමිත නෞකා 19 ක ගල් අගුරු තොග කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවද විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

එහෙත් විදුලිබල මණ්ඩලය පවසන්නේ ගල් අගුරු නෞකාවක් දිවයිනට පැමිණීමට දින විස්සකට අධික කාලයක් ගත වන බවයි. එතෙක් දැනට පවතින ගල්අගුරු ප්‍රමාණවත් නොවනු ඇති බවයි එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත සදහන කළේ. මේ හේතුවෙන් බොහෝදුරට දෛනික විදුලි කප්පාදුව ලබන මාසයේ සිට පැය 8 ත් 10 ත් අතර කාලයක් දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව ද එම උසස් නිලධාරියා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළා. 

සාමාන්‍යයෙන් ගල්අගුරු රැගත් නෞකාවක් රුසියාවේ සිට දිවයිනට පැමිණීමට දින 20කට අධික කාලයක් ගතවනවා. එහෙත් ගල්අගුරු ලබාදීමට කිසිදු සැපයුම්කරුවෙක් මෙතෙක් එකගතාව පළ කර නැහැ.

ලබන අප්‍රේල් 15 වනදා පෙර මෙට්ටි්‍රක් ටොන් 60,000ක් අඩංගු නෞකා 40ක් දිවයිනට රැගෙන ආ යුතුයි. ඒ, එම කාලයෙන් පසු මුහුද රළු වීම හේතුවෙන්. ඒ අනුව දින පහකට වරක් එක් නෞකාවක් දිවයිනට පැමිණිය යුතු වනවා. පවතින තත්ත්වය හමුවේ මුහුද රළු වීමට පෙර අවශ්‍ය ගල්අගුරු රැගත් නෞකා 40 දිවයිනට ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇති බවයි විදුලිබල මණ්ඩලයේ එම උසස් නිලධාරියා සදහන් කළේ. 

අගෝස්තු 25 වනදා ප්‍රදානය කළ ගල් අගුරු ටෙන්ඩරය අත්හිටුවීමට පියවර ගැනුණේ තෝරා ගත් සැපයුම්කරු අදාළ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම කළ නොහැකි බවට අමාත්‍යංශයට දැනුම් දීම හේතුවෙන්. නීතිමය මැදිහත්වීම් සහ ගෙවීම් සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතභාවය හේතුවෙන් එම සමාගම අදාළ තීරණය ගෙන ඇති බව එම සැපයුම්කරු දැනුම් දී තිබුණා.

මෙරට වසරක විදුලි ඉල්ලුමෙන් සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයක් සපයනු ලබන්නේ ගල් අගුරු බලාගාරවලින්.