Saturday, May 4, 2024

General line - 0115112241

අඩු ආදායම්ලාභී පවුලක් මසකට රුපියල් 10,600ක් වක්‍ර බදු ගෙවන බවට සමීක්ෂණයකින් හෙළි වෙයි




මෙරට අඩු ආදායම්ලාභී පවුලක් මසකට රුපියල් 10,600ක වක්‍ර බදු රජයට ගෙවන බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. එම සමීක්ෂණය සිදු කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මූලිකත්වයෙන්.

මැදි ආදායම් පවුලක් රුපියල් 22,000ක මුදලක් සහ ඉහළ ආදායම් ලබන පවුලක් මසකට රුපියල් 56,000ක මුදලක් වක්‍ර බදු ලෙස ගෙවන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසූවේ. 

ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට සාමාන්‍ය පවුලක් ගෙවනු ලබන බදු ප්‍රමාණය සියයට 42කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. 

මෙරට අඩුම වියදමක් සිදු කරන සියයට 10ක් වූ පවුල් ද රුපියල් 6,695ක මුදලක් මාසිකව වක්‍ර බදු ලෙස ගෙවන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පැවසුවේ.