Saturday, April 27, 2024

General line - 0115112241

කජීමා වත්ත ගින්න ගැන අගමැති සතියක් ඇතුලත වාර්තාවක් ඉල්ලයි




තොටලග කජීමා වත්ත නිවාස පෙළ ගිනි ගැනීමට ලක්වීම සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සතියක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිළධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. ඒ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි.

එහිදී කජීමා වත්ත නිවාස පෙළ නිරන්තරයෙන් ගිනි ගැනීමට ලක්වීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කළ ඉල්ලීමකට අනුවයි විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට අග්‍රාමාත්‍යවරයා නියෝග කර ඇත්තේ. 

මේ අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න ගිනි ගැනීමට ලක්වූ කජීමා වත්ත නිවාස පෙළ නිරීක්ෂණය කිරීම සඳහා එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. 

තොටලග කජීමාවත්ත නිවාස පෙළේ හටගත් එම ගින්නෙන් නිවාස 60 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 11 කට අර්ධ හානි සිදුව තිබෙනවා. එම නිවෙස්වල සිටි පුද්ගලයින් 360 දෙනෙකු මේවනවිට කැලණි නදී විහාරය හා මුවදොර උයන මහල් නිවාස ප්‍රජා ශාලාවේ තාවකාලිකව රඳවා සිටිනවා. 

ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වහාම සහන සළසන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිට ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත ඊයේ රාත්‍රියේම උපදෙස් ලබා දුන්නා.