Friday, May 10, 2024

General line - 0115112241

පකිස්ථානය නිසා ඉන්දියාව සහ අමෙරිකාව පැටලෙන ලකුණු




පකිස්ථානය පදනම් කරගනිමින් ඉන්දියාව සහ අමෙරිකාව අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වෙමින් තිබෙනවා. ඒ, පකිස්ථානයේ අමෙරිකානු තානාපති ඩොනල්ඩ් බ්ලූම් පකිස්ථානය විසින් හිමිකම් කියන මතභේදාත්මක කාශ්මීර කලාපයට සංචාරයක් සදහා පැමිණීමත් සමගයි.

පකිස්ථානයේ අමෙරිකානු තානාපතිවරයාගේ කාශ්මීර සංචාරය ඉන්දියාව දැඩිව හෙළා දැක තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ අදාළ සංචාරය සම්බන්ධයෙන් ඉන්දියාව අමෙරිකාවට සිය විරෝධය පළ කළ බවයි.

පකිස්ථානය විසින් හිමිකම් කියන මතභේදාත්මක කාශ්මිර කලාපයට අමෙරිකාව ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පැමිණි දෙවන අවස්ථාව මෙය වනවා.

මීට පෙර අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකාවක් ද පකිස්ථානයේ හිමිකාරීත්වය කියන මතභේදාත්මක කාශ්මීර කලාපයේ සංචාරයක නිරත වුණා. ඉන්දියාව එම සංචාරය සැලකුවේ සිය රටේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කරන්නක් ලෙසයි.