Saturday, May 4, 2024

General line - 0115112241

චීනයේ හිටපු ජනපති හූ ජින්තාඕ කොංග්‍රස් සමුළුවෙන් එළියට




චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ කොංග්‍රස් සමුළුව අදින් අවසන් වීමට නියමිතයි. ඉකුත් 16 වනදා ආරම්භ වුණු එම සමුළුව දින 7 ක් පුරා පැවැත්වුණා. ඒ, බීජිං නුවර ග්‍රේට් හෝල් හිදීයි.

කෙසේවෙතත් ලෝකයේම අවධානය දිනා ගනිමින් චීනය පැවැත්වූ කොංග්‍රස් සමුළුවේ ලොව වැඩියෙන්ම කතාබහට ලක් වුණු සිදුවීම වාර්තා වුණේ අද දිනයේදීයි. ඒ චීනයේ හිටපු ජනාධිපති හූ ජින්තාඕ සමුළුව අතරවාරයේදී පිටතට රැගෙන යාම හේතුවෙන්.

සමුළුවේ කටයුතු පැවැත්වෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති හූ ජින්තාඕ අසුන් ගෙන සිටියේ චීන ජනාධිපති සී ජින්පින් ආසන්නයේයි. කෙසේවෙතත් එකවරම පැමිණි කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන් දෙදෙනෙකු 79 හැවිරිදි වියේ පසුවන වයෝවෘද්ධ හිටපු නායකයා අසුනෙන් ඉවත් කර ගනිමින් පිටතට රැගෙන යන අයුරු ලොව පුරා මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය හරහා ද මේවනවිට සංසරණය වෙමින් පවතිනවා.

තමන්ව පිටතට රැගෙන යන අවස්ථාවේ හූ ජින්තාඕ විසින්, සි ජින්පින් අසල නැවතී ඔහුට යමක් පවසන අයුරු ද එම වීඩියෝවල දැක්වෙනවා.

කෙසේවෙතත් හිටපු නායකයාව පිටතට ඇද දැමීමට හේතුව කුමක්ද යන්න හෝ ඔහු සී ජින්පින්ට පැවසුවේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම සිදුවීම වාර්තා වන්නේ සංශෝධනය කළ ව්‍යවස්ථාව හරහා චීන ජනාධිපති සී ජින්පින්ට  අසීමිත බලයක් ලබා දීමට කොමියුනිස්ට් පක්ෂය සූදානම් වෙමින් සිටින පසුබිමක් තුළයි.