Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවත් අමාරුවේ දමා එංගලන්ත - ඔස්ට්‍රේලියා තරඟය වැස්සට සේදෙයි




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද පැවැත්වීමට නියමිතව තිබූ ඔස්ට්‍රේලියා - එංගලන්ත තීරණාත්මක තරඟය වර්ෂාව හේතුවෙන් අතහැරදැමීමට සිදුවුණා.

ඒ අනුව දෙපිළටම එක් ප්‍රසාද ලකුණ බැඟින් හිමිව තිබෙනවා.

එංගලන්තය තරඟ 03කදී ප්‍රසාද ලකුණු 03 ක් සමඟ ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණිය ද ප්‍රසාද ලකුණු 03 ක් ලැබූ ඔස්ට්‍රේලියාවට සිදුව ඇත්තේ සිව්වන ස්ථානයේ පසුවීමටයි.

මෙම තරඟයේ තීරණය ශ්‍රී ලංකා කණ්ඩායමට ද අතිශය වැදගත්.

එංගලන්ත - ඔස්ට්‍රේලියා තරඟය අත්හැර දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ද තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රභල සටනක් ලබාදිය යුතුව තිබෙනවා.

එංගලන්තයට තවත් තරඟ දෙකක් ඉතිරිව ඇති අතර ඔවුන් එම තරඟ දෙකම ජයගතහොත් හිමිවන සමස්ථ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 07 ක්. එම තරඟ දෙකේ එංගලන්තයේ ප්‍රතිවාදීන් වන්නේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තයයි.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව තරඟාවලියේ ඉදිරිය පිළිබඳ දැඩි අවධානමක පසුවනවා. ඔවුන්ට ද තවත් තරඟ දෙකක් ඉතිරිව ඇති නමුත් එම තරඟ දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 07 ක් ලබාගත හැකිව තිබුණද ඔස්ට්‍රේලියාවේ දල ලකුණු වේගය ඉතා අවම මට්ටමක පැවතීම ඊට හේතුවයි.

ඔස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් අයර්ලන්ත සහ ඇෆ්ගනිස්තාන තරඟ දෙක ඉහළ දළ ලකුණු වේගයක් සමඟ ජයගෙන ශ්‍රී ලංකා - එංගලන්ත හා නවසීලන්ත කණ්ඩායම්වල ප්‍රතිපළ දෙස බලාසිටිය යුතු වනවා.

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් හෙට නවසීලන්තය සමඟ පැවැත්වෙන තරඟය මෙන්ම එංගලන්තය හා ඇෆ්ගනිස්තානය අතර තරඟය යන තරඟ 03 ම ජයගත යුතුයි.

එංගලන්තය ද පරාජය කර තරඟ දෙකක් පමණක් ජයගතහොත් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ තරඟ ප්‍රතිපළ දෙස බලාසිටීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති.

එංගලන්තයට ලෝක කුසලානය ගැන බලාපොරොත්තු තබාගැනීමට නම් අනිවාර්යෙන් ශ්‍රී ලංකාව හා නවසීලන්තය පරාජය කළ යුතුයි.

නවසීලන්තයට තවත් තරඟ 03 ක් ඉතිරිව ඇති අතර එහිදී ප්‍රතිවාදීන් ලෙස ශ්‍රී ලංකාව, එංගලන්තය හා අයර්ලන්තය මුණගැසෙනු ඇති.

ශ්‍රී ලංකා, එංගලන්ත, ඔස්ට්‍රේලියා කණ්ඩායම්වල ලෝක කුසලාන බලාපොරොත්තු රැඳී පවතින්නේ මෙම තරඟ 03 හි ප්‍රතිපළ මතයි.

එමෙන්ම වර්ෂාව ද තීරණාත්මක සාධකයක්. ඒ අනුව අදින් පසුව පළමු කාණ්ඩයේ සෑම තරඟයක්ම අවසන් මහා තරඟයක් සේ උණුසුම්වනු ඇති.