Wednesday, May 8, 2024

General line - 0115112241

අමෙරිකාව සහය නොලැබුනේ නම් මහ කන්නය අසාර්ථක වනු ඇතැයි ජනපති කියයි




අසීරු සෑම අවස්ථාවකම අමෙරිකාව ශ්‍රී ලංකාවට සහය දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින වසර 74ක සබදතා යළි ශක්තිමත් කර ගැනීමට මේවනවිට පියවර රැසක් ගෙන ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර තිබෙනවා. ඉකුත් යුධ සමයේදී ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සබදතා මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය පිළිබදවද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කර තිබෙනවා. 

2001 වසරේ තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමය අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ නායකත්වයෙන් මෙරටට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘතවේදීත්වය පළ කර තිබෙනවා.

2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යවසනයෙන් පසු ශ්‍රී ලංකාවට යළි නැගී සිටීමට බිල් ක්ලින්ටන් ප්‍රමුඛ අමෙරිකානු රජය ලබාදුන් සහය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේවනවිට රට පත්ව ඇති අසීරු අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ මැදිහත්වීමෙන් මෙවර මහ කන්නය සාර්ථක කරගැනීම සදහා මෙරටට හිමි වූ සහය සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.