Sunday, May 5, 2024

General line - 0115112241

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ගෙවීම් සම්බන්ධයෙන් තීරණ ගැනීමට කමිටුවක් පත් කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි 




මෑතකදී කොළඹ වරාය ආසන්න මුහුදු  සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ පරිසර හානිය සහ ධීවරයින්ට සිදු වූ හානිය වෙනුවෙන්  වන්දි ගෙවන ආකාරය තීරණය කිරීම සඳහා නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

අදාළ නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ  හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙසත් එම සිද්ධියට වගකිවයුතු සියලු පුද්ගලයන් ට එරෙහිව නඩු පැවරීමට  පියවර ගන්නා ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරුණා.

එස්. තුරෙයිරාජා,අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේ  මෙම  නැව ගිනි ගැනීමෙන් සිදු වූ පරිසර සහ ධීවරයින්ට සිදු වූ හානිය සම්බන්ධයෙන්  ගෙවීම් කිරීමට  අදාළව ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

ඊට අදාළව අතුරු ගෙවීමක් සිදු කිරීමට සූදානම් බව අදාළ නැව් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර මහතා සදහන් කළා.

අදාළ  සිදුවීම සම්බන්ධයෙන් වන්දි මුදල් ලබාදුන් බව සඳහන් කලද සිය සේවා දායකයින්ට මෙතෙක් කිසිදු මුදලක් ලැබී නොමැති බව පෙත්සමක් ගොනු කර තිබූ  මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා, වෘත්තීය ධීවරයින් දෙදෙනෙකු වන ඩබ්ලිව්.ගාමිණී ප්‍රනාන්දු, වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර් සරත් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ  හිමාලී කුලරත්න සඳහන් කළා.

එහිදි  තවත් පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා කියා සිටියේ සිදු වූ හානියට පමණක් නොව ඉදිරියේදී මෙවැනි අනතුරුදායක සිදුවීම් නොවීමට ද අවධානය යොමු කළ යුතු බවයි

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා පෙන්වා දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන්  අදාළ නෞකාව හිමි සමාගම සහ රක්ෂණ සමාගම වන්දි ගෙවීමට සූදානම් බව පෙනී යන නමුත් එය ගෙවිය යුතු ආකාරය විධිමත් නොමැති බව අධිකරණයට පෙනී යන බවයි.

එම ගෙවීම් විධිමත් සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම වැදගත් බවත් විනිසුරුවරයා සඳහන් කළා. ඒ අනුව අදාළ වන්දි  මුදලක් ලෙස  අන්තර් දීමනා ලබා දීමේ ක්‍රමවේදය තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කළ යුතු බවට විනිසුරු මඩුල්ල තීරණය කළා.

එම කමිටුව සඳහා  නීතිපතිවරයා පහසුකම් සැලසිය යුතු අතර මෙම සෑම පෙත්සමක්ම නියෝජනය වන අයුරින් පෙත්සම් කරුවන් දෙදෙනා බැගින් ඊට ඇතුලත් කරන ලෙස නියම කළ විනිසුරු මඩුල්ල එම කමිටු සාමාජිකයන් සති දෙකක් තුළ නම් කරන ලෙසත් නියෝග කළා.

අදාළ ගෙවීම් කළ යුතු ආකාරය සහ පුද්ගලයන් පිළිබඳව වන යෝජනා සති හතරක දී ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරුණා.

අදාළ  නියෝග අනුව කටයුතු කරන බව නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා එකගත්වය පල කලා.

අනතුරුව පෙත්සම් විභාගය ලබන මැයි මස 24 වැනිදා පැවැත්වීමට ද අධිකරණය නියෝග කළා.

මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා, පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා, ජේ.ජෙගතීෂ්වරන්, පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.