Wednesday, May 8, 2024

General line - 0115112241

කන්දකාඩු සිද්ධිය ගැන ජනපති වාර්තාවක් කැදවයි




කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙනවා.

මෙවැනි සිද්ධි යලි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. 

මේ අතර කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගිය රැදවියන් 35 දෙනෙකු යළි භාර වී තිබෙනවා. දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ හටගත් ගැටුමක් හේතුවෙන් එම රැදවියන් පිරිස පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගොස් ඇති බවයි

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත පැවසුවේ. ගැටුමට මුල් වූ පුද්ගලයින් තමන්ට පහර දිය හැකි බවට බිය වී මෙම රැදවියන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පිටත කැලෑබඳ ප්‍රදේශවල ඊයේ රාත්‍රියේ සැගව සිට ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ. මෙම ගැටුමෙන් තුවාල ලැබූ රැදවියන් පස්දෙනෙකු පොළොන්නරුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. 

අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ මෙලෙස ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. රැදවියන් පිරිසක් තමන් පැමිණි ප්‍රදේශවල සිට පැමිණි අනෙක් පුද්ගලයින් හා එක්ව කල්ලි නිර්මාණය කරගනිමින් අනෙකුත් රැදවියන්ට හිරිහැර වන ආකාරයෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ කටයුතු කිරීමත් සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.