Monday, January 13, 2025

General line - 0115112241

එංගලන්තයට එරෙහිව පළමු එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්




සංචාරක එංගලන්තය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුළු 6කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා. 

තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ටේ්‍රලියාව තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 287ක් රැස් කළා. ඩේවිඩ් මලාන් හතරේ පහර 12ක් සහ හයේ පහර හතරක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 134ක්. පන්දු යැවීමේදී ඇඩම් සම්පා සහ පැට් කමින්ස් කඩුළු 3 බැගින් දවා ගත්තා.

ලකුණු 288ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 5ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 291ක් රැස් කරමින් තරගය ජයගත්තා. 

ඩේවිඩ් වෝර්නර් පන්දු 84කදී ලකුණු 86ක් රැස් කළේ හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමගින්. ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 80යි. ඔහුගේ ඉනිමට හතරේ පහර නවයක් සහ එක් හයේ පහරක් ඇතුළත්. පන්දු යැවීමේදී ඩේවිඩ් විලී කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා. 

තරග තුනකින් සමන්විත එංගලන්ත ඕස්ට්‍රේලියානු එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය නොවැම්බර් 19 වන දින සිඩ්නිහීදී පැවැත්වීමට නියමිතයි.