Sunday, January 12, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලයේ නව නිලධාරී මණ්ඩලයට එරෙහිව අධිකරණ නියෝගයක්




ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පත් වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම හෙට දිනතෙක්  අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළා.

ඒ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල වරණය නීති විරෝධී යැයි සදහන් කරමින් එහි  හිටපු සභාපති ජස්වර් උමර් ගොනු කළ රිට් පෙත්සමක්  සලකා බැලීමෙන් අනතුරුවයි. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා සහ එම සම්මේලනයට තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ඉකුත් 14වැනිදා පැවැති අතර එහි සභාපති තනතුරට තරඟ කිරීම සඳහා තමන් නාම යෝජනා භාර දුන් බවත්, නාම යෝජනා කමිටුව එය පිළිගත් බවද පෙත්සම්කරු කියා සිටියා.

පසුව තමන්ට සුදුසුකම් නැති බව පවසමින් එම තනතුරට තරඟ වැදීමට බලධාරීන් අවස්ථාව නොදුන් බව පෙත්සම්කරු චෝදනා කළා.

අනතුරුව විරුද්ධ පාර්ශවයෙන් ඉදිරිපත් වූ වගඋත්තරකාර ජේ.ශ්‍රී රංගා වැඩි ජන්ද 03 කින් එම සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් වූ බවයි  පෙත්සම්කරු පෙන්වා දෙන්නේ. මේ තුළින් තමාට දැඩි අසාධාරණයක් සිදුවු බවත් පෙත්සම්කරු කියා සිටියා.

එබැවින් එම නිලවරණයේ ප්‍රතිඵල අවලංගු කර අලුතින් නිලවරණයක්  පැවැත්වීමට පියවර ගන්නා ලෙස  බලධාරීන්ට  නියෝගයක්  දෙන ලෙස  පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.