Friday, January 10, 2025

General line - 0115112241

තියුණු තරඟයකින් පසු ශ්‍රී ලංකාව, ආසියානු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයට




එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මෑත කාලයේ දුටු විශිෂ්ඨතම හා උද්වේගකර තරගයක් දැකබලා ගැනීමට ලෝකවාසී ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඊයේ රාත්‍රියේ හැකිවුණා. ඒ, ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතරයි. 

මෙම තරගයේ ජය දෙපිලටම අතිශය වැදගත් වී තිබුණේ එහි ජය මත දෙපිලේම ආසියානු කුසලාන සිහිනය තීරණය වීම හේතුවෙන්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 291ක් රැස් කලා. ඒ අනුව ඇෆ්ගනිස්තානයට සුපිරි 4 දෙනාගේ වටයට යාමට නම් පන්දුවාර 37යි එක් පන්දුවක් අවසාන වන විට එම ඉලක්කය සපුරා ගත යුතු වුණා. 


ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයේ පාලනය මුල් අදියරේදී තමා යටතේ තබා ගත්තේ පන්දුවාර 18යි පන්දු 4ක් තුල ඇෆ්ගනිස්තාන කඩුලු 04ක් ලකුණු 121ක් දවා ගනිමින්. එහෙත් පසුව පිටියට පිවිසි මොහොමඩ් නබී පන්දු 24කදී ලකුණු 50ක් රැස් කරමින් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්දින පිටියේ වේගවත්ම අර්ධ ශතකය රැස් කලේ ඇෆ්ගනිස්තාන බලාපොරොත්තු ඉහල දමමින්. 

නබී දැවී යන විට පන්දු 32ක් තුල ලකුණු 65ක් රැස් කර ගෙන තිබුණා. ඒ අනුව ඇෆ්ගනිස්තානයට සුපිරි 4දෙනාගේ වටයට පිවිසීමට රැස් කර ගත යුතුව තිබුණේ පන්දු 43ක් තුල ලකුණු 67ක් පමණයි. ඉන් පසුව උදා වූයේ දල ලකුණු වේගය හඹා යාමේ තීරණාත්මක පන්දුවාර කිහිපයයි. නායක දසුන් ශානක තරගයේ වගකීම කසුන් රාජිත, මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ වෙත පැවරූ අතර විටක ඇෆ්ගනිස්තානයට ද විටක ශ්‍රී ලංකාවටද තරඟය දෝලනය වුණා. 

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් කරීම් ජනිට්, නජිබුල්ලා සර්ධාන් හා රෂීඩ් කාන් අවසන් මොහොත තෙක්ම තරගයේ තීරණය දෙපිලටම දෝලනය කලේ පිටිය සිසාරා පන්දු පහර එල්ල කරමින්. එක පිට එක හයේ සහ හතරේ පහර එල්ල වුවද ශ්‍රී ලංකා පන්දු යවන්නන් කඩුලු දඩයමද අත් හැරියේ නෑ. නායක දසුන් වගකීම කර මත පැටවූ රාජිත, මතීෂ හා තීක්ෂණගේ සම්පූර්ණ පන්දුවාර සංඛ්‍යාව අවසන් වූ අතර ඒ අනුව පන්දු 07ක් තුල ලකුණු 15ක් රැස් කිරීම ඇෆ්ගනිස්තානයේ ඉලක්කය වුණා. 

සියලු ප්‍රධාන පන්දු යවන්නන්ගේ පන්දුවාර නිම වී තිබූ බැවින් නායක දසුන්ට සිදුවූයේ නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට පන්දුව භාර දීමටයි. පළමු පන්දු කිහිපය හොඳින් යැවුවද අවසානයේ ඔහුගේ පන්දුවාරයට ලකුණු 12ක් රැස් කර ගැනීමට රෂීඩ් ඛාන් සමත් වුණා. ඒ අනුව එක් පන්දුවක් තුල ලකුණු 03 ක් ලබා ගැනීම ඇෆ්ගනිස්තානයේ ඉලක්කය වූ අතර එම පන්දුවාරය යැවීමේ වගකීම පැවරුණේ ධනංජයද සිල්වාටයි. 

යැවූ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ඔහු සමත් වූ නමුත් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉටුවූයේ නැහැ. ඒ, ඉතිරි පන්දු 03දී හයේ පහරක් එල්ල කලහොත් ඇෆ්ගනිස්තානයට සුපිරි වටයට පිවිසීමේ අවසන් අවස්ථාව තිබූ බැවින්. ඒවන විට ඇෆ්ගනිස්තානය ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 9කට ලකුණු 289ක් ලෙසයි. තිරණාත්මක ඊළග පන්දු දෙක යැවූ ධනංජය එහිදී කිසිදු ලකුණක් ලබා දුන්නේ නැහැ. ඉන් පසු උදා වූයේ තීරණාත්මක පන්දුවයි. ඊට හයේ පහරක් එල්ල කලේ නම් ඇෆ්ගනිස්තානයට සුපිරි වටයට යාමට ඉඩ පැවතුණා. එම තීරණාත්මක පන්දුවේදී ඇෆ්ගන් ඉනිමේ අවසන් කඩුල්ල දවා ගත් ධනංජය, ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ සුපිරි 04 දෙනාගේ වටයට රැගෙන ගියා.