Friday, January 10, 2025

General line - 0115112241

මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට ICC යේ අනුමැතිය




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුලත් කිරීමට ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මැතිව්ස් එලෙස ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් කර ඇත්තේ ආබාධයකට ලක්වූ මතීෂ පතිරණ වෙනුවටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ රාත්‍රියේ නිල වශයෙන් මේ බව නිවේදෙනය කළා.

ලෝක කුසලාන තරගාවලියට සහභාගීවී සිටින කිසියම් කණ්ඩායමක සංචිතයේ සිටින  ක්‍රීඩකයෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට නම් ICC තාක්ෂණ කමිටුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කල යුතු වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සංචිතයේ සිටි මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ආදේශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බල්ධාරීන් එම කමිටුවෙන් ඉකුත්දා ඉල්ලීමක් කර තිබුණා. 

මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 149ක ජයක් වාර්තා කළා.

ඒ අනුව දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 8ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.

මෙම තරගයේ පරාජයත් සමග බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

තරග 05කදී ඔවුන් එක් ජයග්‍රහණයක් පමණක් ලබාගෙන සිටින බැවින් බංග්ලාදේශයේ ලෝක කුසලාන බලාපොරොත්තු දැන් ඇත්තේ දැඩි අවධානමකයි.

මෙම තරගය තවත් වාර්තා රැසක් ලෝක ක්‍රිකට් පිටියට එක් කල තරගයක් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 382ක් රැස් කලා.

එය දකුණු අප්‍රිකාව මෙම තරගාවලියේ ලකුණු 300 සීමාව පසුකර ගිය තුන්වන අවස්ථාව මෙය වූ අතර දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දී ලකුණු 300 සීමාව අඛණ්ඩව පසුකර ගිය 07වන අවස්ථාවද මෙය වුණා.

දකුණු අප්‍රිකාවේ මෙම විශිෂ්ඨ ජයග්‍රහණයේ වැඩිම කොටස්කරුවා වූ ක්වින්ටන් ඩී කොක් පන්දු 140කදී හයේ පහර 07ක් හා හතරේ පහර 15ක් සමග ලකුණු 174ක් රැස් කළා.

ඩි කොක් සහභාගී වූ 150වන එක්දින තරගය මෙය වූ අතර එහිදී ඔහු වාර්තා කිහිපයක් ද බිහි කළා.

එක් තරගාවලියක් තුල වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කල ක්‍රීඩකයා බවට ඔහු මෙහිදී පත්වුණේ ශතක දෙකක් සමග ඒ බී ඩිවිලියස් පිහිටවා තිබූ වාර්තාව බිද දමමින්.

ඩි කොක් මේ දක්වා මෙම තරගාවලියේ තරග 05කදී රැස්කර ඇති ශතක සංඛ්‍යාව 03ක්.

එමෙන්ම ඩි කොක් රැස් කල ලකුණු 174 වාර්තා අතරට එක්වූයේ ලෝක කුසලාන තරගාවලියක දකුණු අප්‍රිකානු පිතිකරුවෙකු රැස් කල දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එය ලෝක කුසලාන තරගයක කඩුලු රකින ක්‍රිඩකයෙකු රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාවද වුණා. 

දක්ෂ පිතිහරඹයක නිරත වූ ඒඩ්න් මාක්‍රම් ලකුණු 60ක්, හෙන්රික් ක්ලාසන් ලකුණු 90ක් හා ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 34ක් රැස් කළා. 

ලකුණු 383ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 233ක් පමණයි. ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ හෝ නොතිබුණු අවස්ථාවේ බංග්ලාදේශයේ මහමුදුල්ලා ලකුණු 111ක් රැස් කළා.

එය ඔහු ලෝක කුසලානයක රැස් කල තුන්වන ශතකයයි.