Friday, January 10, 2025

General line - 0115112241

ඇෆ්ගන් පරාජය නිසා, ශ්‍රී ලංකාව ලෝක කුසලනායෙන් විසි වෙයිද?




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනපේක්ෂිත පරාජයකට මුහුණ පෑමට ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රියේ සිදුවුණා.

ඒ, ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය කඩුලු 07කින් පරාජය වීම හේතුවෙන්.

වත්මන් ලෝක ශූර එංගලන්තය පරාජය කිරීමත් සමග බොහෝ දෙනෙකු මත පල කර තිබුණේ ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගෙන පහසුවෙන් සුපිරි කණ්ඩායම් 04 අතරට පිවිසීමට අවස්ථාවක් උදාකරගනු ඇති බවටයි.

එහෙත් මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවද දැන් සිටින්නේ සුපිරි කණ්ඩායම් 04 අතරට පිවිසීමේ අවදානම් තත්ත්වයකයි.

ශ්‍රී ලංකාව තරග 06ක් අවසානයේ ජයග්‍රහණ දෙකක් පමණක් ලබා ගනිමින් රැස්කර ගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 04ක්.

ඒ අනුව සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාවට ඇති ඉදිරි තරග සියල්ල, එනම් ඉන්දීය, නවසීලන්ත හා බංග්ලාදේශ තරග ජය ගැනීම අත්‍යවශ්‍ය වනු ඇති.

එමෙන්ම සෙසු කණ්ඩායම් ලබන ජය හා පරාජයන්ද ශ්‍රී ලංකාවේ ගමනට බලපානු ඇතැයි විචාරකයින් පවසනවා.

ඊයේ රාත්‍රියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයේ පරාජයට ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා බලපෑ බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ සියලු දෙනා ලකුණු 241කට දැවී ගියා. පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 46ක් රැස් කලා. 

මෙහිදී ඔහුට ලකුණු 04කින් ගිලිහී ගියේ ලෝක කුසලානයකදී අඛණ්ඩව අර්ධ ශතක 05ක් රැස් කර ගත් ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමට තිබූ වාර්තාවයි.

පසුව කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් හා සධීර සමරවික්‍රම ලකුණු 36ක් රැස් කලා. විටෙක ශ්‍රී ලංකා පිල කඩුලු දෙකකට ලකුණු 134ක් රැස් කර ගනිමින් ස්ථාවර තත්ත්වයක සිටි නමුත් ලකුණු පුවරුවට තවත් ලකුණු 51ක් එක් වන විට කඩුලු 05ක් බිද වැටීමත් සමග ශ්‍රී ලංකා ඉනිම අඩපණ වුණා. 

ශ්‍රී ලංකා මැද පෙල අසාර්ථක වූ අතර මහීෂ් තීක්ෂණ ලකුණු 29ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 23ක් රැස් කලා.

2019 වසරේ ජූලි මාසයෙන් පසු මැතිව්ස් රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව එයයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පන්දුවාර 15වේ ලකුණු ලබා ගැනීමේ වේගය 5යි දශම 7යි 8ක් වන අතර එය මෙවර ලෝක කුසලානයේ අවසන් පන්දුවාර 15දී කිසියම් කණ්ඩායමක දෙවන අඩුම ලකුණු වේගය ලෙසටයි වාර්තා වන්නේ.

ඇෆ්ගනිස්ථානය ලකුණු 242ක ඉලක්කයක් හඹා ගියේ පන්දුවාර 45යි පන්දු 02කදී කඩුලු 03ක් පමණක් දැවී තිබියදීයී.

අෂ්මතුල්ලා ඔමාර්ෂායි නොදැවී ලකුණු 73ක් රැස් කලා. පන්දු යැවීමේදී සාර්ථක වූ එකම පන්දු යවන්නා වූ දිල්ෂාන් මදුෂංක ලකුණු 48කට කඩුලු දෙකක් බිද හෙලුවා. 

මෙම ජයග්‍රහණයත් සමග ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු 06ක් ලබා ශ්‍රී ලංකාවද පසුකරමින් පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා. ඔවුන්ටද තවත් තරග 03ක් ඉතිරිව ඇති අතර නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව ඇෆ්ගනිස්ථානයේ මීලග ප්‍රතිවාදීන් වනවා.