Friday, January 10, 2025

General line - 0115112241

නවසීලන්තය පරදා පකිස්ථානයට තියුණු ජයක්




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තීරණාත්මක තරගයෙන් නවසීලන්තය පරදා ලකුණු 21ක තියුණු ජයක් වාර්තා කිරීමට පකිස්ථානය සමත් වුණා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තුව අවධානමේ වැටී ඇති අතර ඇෆ්ගනිස්ථානයට හා පකිස්ථානයට ලෝක කුසලානයේ අවසන් සුපිරි වටයට ඇතුලත් වීමට ඉහල සම්භාවිතාවක් හිමිව තිබෙනවා.


තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06කට ලකුණු 401ක් රැස් කලා. එය නවසීලන්ත කණ්ඩායමක් ලෝක කුසලානයක රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

එමෙන්ම පකිස්ථානයට එරෙහිව කිසියම් කණ්ඩායමක් ලෝක කුසලානයට රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වුණා. මෙහිදී නවසීලන්ත පිතිකරුවන් හතරේ පහර 46ක් එල්ල කල අතර එය ලෝක කුසලාන තරගයක වැඩිම හතරේ පහර සංඛ්‍යාවයි. 


දක්ෂ පිතිහරඹයක නිතර වූ රචින් රවින්ද්‍ර ලකුණු 108ක් රැස් කලා. එය ඔහු මෙවර තරගාවලියේ රැස්ක තුන්වන ශතකය වන අතර නවසීලන්ත පිතිකරුවෙකු ලෝක කුසලාන තරගාවලියක රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

එමෙන්ම ඔහු ලෝක වාර්තා පොතට එක්වුණේ සිය මංගල ලෝක කුසලානයේදී වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කල පිතිකරුවා බවට පත්වෙමින්. මෙහිදී ඔහු සචින් ටෙන්ඩුල්කාර්ගේ වාර්තාවක් ද බිද හෙලුවා.

ඒ වයස අවුරුදු 25කට වඩා අඩු පිතිකරුවෙකු ලෝක කුසලානයක රැස්කල වැඩිම ශතක සංඛ්‍යාව රැස්කර ගනිමින්. කේන් විලියම්සන් ලකුණු 95යි. 


පිලිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන පකිස්ථාන ඉනිමේ 22 වන පන්දුවාරයේදී තරගයට වර්ෂාව ඇද හැලුණා. ඒ වන විට ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 160ක් රැස් කරගෙන සිටියා.

විශිෂ්ට පිතිහරඹයක නිරත වන ෆකර් සමාන් නොදැවී ලකුණු 106ක් රැස් කරගෙන සිටිනවා. වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් දැන් පකිස්ථානයට තරගය ජය ගැනීම සදහා පන්දුවාර 41ක් තුල රැස්කර ගත යුතු වු ඉලක්කය ලකුණු 342ක්. 


නවසීලන්තයට වඩා වැඩි වාසි අත්කරදෙමින් පැවති තරගයේ තීරණය වෙනස් වූයේ ඉෂ්ක් සෝදි යැවූ 25වන පන්දු වාරයේදීයි. වැස්ස ඇද වැටීමට ආසන්න බව දුටු පකිස්ථාන පිතිකරුවන් එම පන්දු වාරයට පමණක් ලකුණු 20ක් රැස් කලා.

ඉන් පසුව වැස්ස ඇද හැලුණු අතර ඩක්වත් ලුයිස් න්‍යාය යටතේ පකිස්ථානයට ලකුණු 21ක ජයක් හිමි වුණා. දැන් නවසීලන්තයේ ඉරණම තීරණය වන්නේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේදීයී.

එහෙත් ඇෆ්ගනිස්ථානය ඉතිරි තරග දෙකම ජය ගත හොත් ඔවුන් නිසැකවම සුපිරි 04 දෙනාගේ වටයට පිවිසෙනවා.


මේ අතර ඔස්ටේ්‍රලියා - එංගලන්ත තරඟයද ඊයේ පැවැත්වුණා. එහි විශේෂත්වය වූයේ වත්මන් ලෝක ශූර එංගලන්තය මෙවර තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ්‍රලියාව පන්දුවාර 49යි පන්දු 03ක් තුල ලකුණු 286ක් රැස් කලා. කෙසේ වෙතත් එංගලන්තයට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 253ක් පමණයි.


මේ අතර, නවසීලන්ත කණ්ඩායමේ පරාජයත් සමග දකුණු අප්‍රිකාවද මෙවර ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 04 දෙනාගේ වටයට ඊයේ සුදුසුකම් ලැබුවා.