Friday, January 10, 2025

General line - 0115112241

 ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම දකුණු අප්‍රිකාවටත් - ඉන්දියාව හමුවේ ලකුණු 83ට දැවී යයි.




මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම හමුවේ තවත් අමිහිරි පරාජයකට මුහුණ පෑමට දකුණු අප්‍රිකාවට සිදු වුණා. ඒ, ඊයේ රාත්‍රියේ බොහෝ දෙනාගේ අවදානය දිනූ තරගයේදීයී. ලෝක කුසලානයේ මේ දක්වා සුපිරි 04 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් දෙක වූ ඉන්දියාව හා දකුණු අප්‍රිකාව සතුව මෙවර තරගාවලියේ දක්ෂතම පිතිකරුවන් හා දක්ෂතම පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයින් සිටීම හේතුවෙන් මෙම තරගය දෙස ක්‍රිකට් ප්‍රේක්ෂකයින් දැඩි උනන්දුවකින් බලා සිටියා. එහෙත් දකුණු අප්‍රිකානු සියලු පිතිකරුවන් පන්දුවාර 27යි එක් පන්දුවක් තුල දැවී ගියේ ලකුණු 83කටයි.


තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 326ක් රැස් කළා. විරාත් කෝලි නොදැවී ලකුණු 101යි. මේ විශිෂ්ඨ පිතිකරුවාගේ 49වන එක්දින ශතකයයි. එය එක්දින පිටියේ පිතිකරුවෙකු රැස් කල වැඩිම ශතක සංඛ්‍යාවේ වාර්තාව සම කීරීමක් වන අතර මීට පෙර එම වාර්තාව බිහිකර තිබුණේ ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් විසින්. එමෙන්ම කෝලි මෙම ශතකය රැස් කලේ සිය 35වන උපන් දිනයදා වීමද විශේෂත්වයක්. එක්දින ලෝක කුසලාන තරගයක උපන්දිනයදා ශතකයක් රැස්කල තුන්වන පිතිකරු වන්නේද විරාත් කෝලියි. 


එමෙන්ම කෝලි මෙහිදී කුමාර් සංගක්කාරගේ වාර්තාවක්ද බිද දැමුවා. ඒ, එක්දින පිටියේ ලකුණු 50ට වඩා වැඩි සංඛ්‍යාවක් රැස්කරමින් දෙවන ස්ථානයේ පසුවූ සංගාගේ වාර්තාව බිද දමමින්. සංගා මෙම වාර්තාව පිහිටුවා තිබුණේ අවස්ථා 118කදී ලකුණු 50ට වඩා වැඩි සංඛ්‍යාවක් රැස්කරමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දක්ෂ පිතිකරුවන් රැසකගෙන් සමන්විත දකුණු අප්‍රිකාව මෙම තරගයේදී ලකුණු 83කට දැවී ගියේ ඉන්දියාවට ලකුණු 243ක දැවැන්ත ජයක් අත්කර දෙමින්.

එය දකුණු අප්‍රිකාව එක්දින පිටියේ දැවී ගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාවයි. කෙසේ වෙතත් ලෝක කුසලානයක දකුණු අප්‍රිකාව දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වනවා. දකුණු අප්‍රිකාව මෙහිදී ලද ලකුණු 243ක පරාජය ඔවුන් එක්දින පිටියේ ලද දරුණුම පරාජයයි. ඉන්දීයාව මේ වසරේදී පමණක් ලකුණු 200කට වඩා වැඩියෙන් තරග 5කදී ජය ගෙන තිබෙනවා. එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු කණ්ඩායම ඉන්දියාවයි.


දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 33කට කඩුලු 05ක් බිද හෙලූ අතර එය සැලකුණේ ලෝක කුසලාන තරගයක ඉන්දීය වමත් දග පන්දු යවන්නෙකු කඩුලු 05ක් බිද හෙලූ දෙවන අවස්ථාව ලෙසයි.
මේ අතර ශ්‍රී ලංකාවට ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලැබීම සදහා වැදගත් වන තරගය අද පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශය සමඟයි.