Thursday, January 9, 2025

General line - 0115112241

සල්ලි බෙදන ලීග් ක්‍රිකට් නිසා කොදෙව් සුපිරි ක්‍රීඩකයින් රට අත්හරී




බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලින් මෑත කාලයේ ක්‍රිකට් පිටියට බිහිවූ දක්ෂ ක්‍රීඩකයින් තිදෙනෙකු වන ජේසන් හෝල්ඩර්, නිකොලස් පුරාන් හා කයිල් මේයර් ලබන වසරේ ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මුදල් වැඩිවශයෙන් ගැවසෙන පන්දුවාර 20 හා පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරග සදහා වැඩියෙන් එක්වීමේ අරමුණින් ඔවුන් මෙම පියවර ගෙන ඇති බවටයි වාර්තා වන්නේ. 

මෙම ක්‍රීඩකයින් දැනටමත් ඉන්දියාවේ IPL, දකුණු අප්‍රිකාවේ SA 20, එක්සත් අරාබි එමීර් IL T20, අබුඩාබි T20 වැනි ක්‍රීඩකයින් කෝටි ගණනින් වෙන්දේසිවන ලීග් ක්‍රිකට් තරගාවලි සදහා කණ්ඩායම් සමග ගිවිසුම් ගතව සිටිනවා.

වසර පුරා පැවැත්වෙන මෙවැනි තරගාවලි සදහා වැඩි වශයෙන් එක්වීමේ අරමුණින් මෙලෙස ජාත්‍යන්තර ක්‍රීඩකයින් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි විවේචන ද පවතිනවා.

හිටපු නායකයන් වන ජේසන් හෝල්ඩර් සහ නිකලස් පූරන් සහ තුන් ඉරියව් ක්‍රීඩක කයිල් මේයර්ස් මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ 2023-24 සඳහා බටහිර ඉන්දීය කොදෙව් මධ්‍යම ගිවිසුමයි.

කෙසේවෙතත් මෙම තිදෙනා මේ වසර තුළ ජාත්‍යන්තර T20 තරඟාවලිය සඳහා සහභාගී වනු ඇති බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බළධාරීන් විශ්වාසයෙන් පසුවනවා. 

කෙසේ වෙතත්, කොදෙව් ක්‍රිකට් පරිපාලනය අද ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට මෙම ක්‍රීඩකයින් ඇතුලත් කර නැහැ. 

ලොව පුරා වැඩිවෙමින් ඇති T20 ෆ්‍රැන්චයිස් ලීග් තරගවලදී ක්‍රීඩකයින්ට තම රට නියෝජනය කරනවාට සාපේක්ෂ වැඩි මූල්‍ය වටිනාකමක් හිමි වනවා.

එවන් තරගාවලි හේතුවෙන් ප්‍රධාන ක්‍රීඩකයින් බටහිර ඉන්දීය කොදෙව් ගිවිසුම් ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව මෙය නොවේ.

මීට පෙර කිරන් පොලාඩ්, ඩ්වේන් බ්‍රාවෝ හා ක්‍රිස් ගේල් එසේ සිදු කලේ 2010 කාලයකදීය. 

මෑතකදී මෙම තත්ත්වය සෙසු ප්‍රධාන රටවලින් ද දැකගත හැකි අතර, දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩී කොක්, නවසීලන්ත වේග පන්දු යවන ට්‍රනේට් බෝල්ට් ද ඒ අතරට අයත්. බෝල්ට්, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඔහුගේ මධ්‍යම ගිවිසුම අත්හැරියද, 2023 ලෝක කුසලානයේදී නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කලා.

මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී, බෙන් ස්ටෝක්ස් ද එංගලන්තය සමඟ වසර තුනක කොන්ත්‍රාත්තුවක් ප්‍රතික්ෂේප කළ අතර, ඒ වෙනුවට අත්සන් කළේ වසරක් සඳහා පමණයි.