Wednesday, January 8, 2025

General line - 0115112241

විස්සයි 20 ක්‍රිකට් පිටියේ ආධිපත්‍යය දඟ පන්දු යවන්නන් අතට - ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්




පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දුයවන්නන්ගේ ආධිපත්‍යය දඟ පන්දු යවන්නන් අතට පත්ව තිබෙනවා.

ඒ, නවතම පන්දුවාර විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථාන 10 න් 08 ක්ම දඟ පන්දුයවන්නන් අතට පත්වීමත් සමඟයි.

ඒ අතරට ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙදෙනෙකු ද ඇතුලත්. එමෙන්ම පළමු ස්ථාන 04 තුළම සිටින්නේ දකුණතින් පාදඟ පන්දු යවන්නන් වීම කැපී පෙනෙන තත්ත්වයක්.

නවතම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව ඇත්තේ එංගලන්ත පාදඟ පන්දු යවන ඇඩිල් රෂීඩ්ටයි.

දෙවන ස්ථානය ඇෆ්ගනිස්තාන පාදඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට හිමිවී තිබෙනවා.

නවතම ලැයිස්තුවේ තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දීය පාදඟ පන්දු යවන ක්‍රීඩක රවී බිෂ්නෝටයි.

සිව්වන ස්ථානය ශ්‍රී ලංකා පාදඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට හිමිවී තිබෙනවා.

නවතම ලැයිස්තුවේ පස්වන ස්ථානය හිමිව ඇත්තේ ද ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණටයි.

නවතම පන්දුවාර විස්සයි 20 පන්දුයවන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු ස්ථාන 10 තුළ සිටින වේග පන්දු යවන දෙදෙනා වන්නේ ඇෆ්ගනිස්තානයේ ෆසාල් හක් ෆරෝකි හා ඔස්ටේ්‍රලියාවේ ජොස් හේසල්වුඩ් පමණයි.